සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ වෙනුවෙන් පිදෙන කිරිඅම්මාවරුන්ගේ දානය කිරි දානය , පත්තිනි මෑණියන්ගේ දානය , මාරි අම්මා පිදුම වැනි නම්වලින් ප්‍රචලිත මෙම කිරි අම්මාවරුන්ගේ දානය අම්මාවරුන්ගේ ලෙඩ නමින් හැඳින්වෙන රෝගයක් වැළදුණු විට හෝ දරු උපතකට පෙර එසේත් නැතිනම් තමන්ගේ අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීමේ අරමුණින් පත්තිනි මෑණියන් නමින් පත්තිනි මෑණියන් උදෙසා කිරි අම්මලාට භාරයක් වීම මහත් අනුහස් බල ඇති චිරාත් කාලයක් පුරා සිංහල බෞද්ධයන් අතර ප්‍රචලිත සිරිතකි.
කිරි අම්මාවරුන් උදෙසා පවත්වන දානය දීමෙන් ස්ථානීය දෝෂ , ලෙඩදුක් කරදර ආදි සියලු දොස් දුරු වී සෙත ශාන්තිය උදා වන බව ජන විශ්වාසයයි. නිසි චාරිත්‍ර විධි අනුගමනය කරමින් හරියාකාරව එම කටයුතු භක්ත්‍යාදරයෙන් යුතුව ඉෂ්ටසිද්ධ කිරීම අනිවාර්ය කරුණකි. කිරි අම්මලා ලෙසින් වන්දනයට පාත්‍ර වන්නේ උතුම් වූ මාතෘත්වය යි. මේ සඳහා විශේෂයෙන්ම පිරිමි දරුවන් වැදූ මවුවරුන් කිරි අම්මාවරුන් ලෙස දානයට වාඩි කරවා ගැනීම අතීතයේ සිට පැවත එන සිරිතකි. එසේම දරුවන් නොමැති කාන්තාවන් හෝ එක් දරුවෙක් පමණක් ඇති මවුවරුන් කිරි අම්මා දානය සඳහා වාඩි වීම සුදුසු නොවේ. තව ද ඉතා භක්තියෙන් යුතුව පේ වී චාරිත්‍රානුකූලව පවත්වන්නා වූ මේ කිරි දානයන් සඳහා ඇරයුම් නොකළ යුතු ස්ත්‍රීන් ද වේ.
- සුරාවට ඇබ්බැහි වූ ස්ත්‍රිය.
- ඕපාදූප කේළාම් කියන වාචාල ස්ත්‍රිය.
- සැමියා මිය ගිය කනවැන්දුම් ස්ත්‍රිය.
- දරුවන් නොලද වඳ ස්ත්‍රිය.
- සවිබල පිරිහුණු මහලු ස්ත්‍රිය.
- අංගවිකල ස්ත්‍රිය.
- අඳ , ගොළු හෝ බිහිරි ස්ත්‍රිය.
- උමතු ස්ත්‍රිය.
- අනියම් ඇසුර ලබන හෝ වෛශ්‍යා ස්ත්‍රිය.
ආයිරන්දනන් මල් පත්තිනිය , උරමාල පත්තිනිය , කරමාල පත්තිනිය , ගිණිජාල පත්තිනිය , නාග පත්තිනිය , ජලමේඝ පත්තිනිය , සලු පත්තිනිය හා අඹෙන් උපන් සිද්ධ පත්තිනි යන්නා වූ සත් වාරයක් උපන් සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ සිහි ගන්වමින් දානය සිදු කෙරෙන අතර මඳුමල් බිසෝ , සපුමල් බිසෝ , නාමල් බිසෝ , කපුරුමල් බිසෝ , පිච්චමල් බිසෝ , ඉද්දමල් බිසෝ , කැකුළුමල් බිසෝ යන නම් වලින් ප්‍රසිද්ධියට පත්ව ඇති රිද්දි බිසෝවරුන් සත්දෙනා කිරි අම්මාවරුන් සත්දෙනා වශයෙන් සැළකේ.
කිරි දානයකට සූදානම් වීමේදී මාස තුනකට පමණ ප්‍රථම ඇප ගැල්වීම සඳහා වාඩිවන මහ කිරි අම්මාට ඒ බව පවසා කිරි දානයට බුලත් හුරුළු දී ආරාධනා කල යුතුය. දානය සඳහා වාඩිවන අනෙකුත් කිරි අම්මලාටද බුලත් දී ආරාධනා කිරීම පුරාතන චාරිත්‍රයයි. ඉන් පසුව කිරි දානයට පෙර දිනයේ ද නැවත බුලත් කොළය බැඟින් දී හෙට දින දානය පැවැත්වෙන බවට නැවත මතක් කොට සිහිකැඳවීමක් සිදු කරයි. දෙවියන් වෙනුවෙන් කාන්තාවක් මූලික වී කල හැකි එකම සෙත් ශාන්තිය කිරි අම්මාවරුන්ගේ දානයයි. ඒ අනුව මේ සඳහා වඩාත් අනුහස් ලබා ගැනීමට නම් ඉහත කී පරිදි පතිවත රකින , පන්සිල් සුරකින , මෙත් සිත් ඇති කුඩා දරුවන් ඇති අම්මාවරුන් ද , දරු මුණුපුරන් දුටු කිරි අම්මාවරුන් ද වාඩි කරවා ගැනීම සුදුසු ය. දානය සඳහා වාඩි වන කිරි අම්මාවරුන් සත් දෙනාගෙන් අයෙකුම ( මහ කිරි අම්මා ) ඇප ගැල්වීම සිදු කල යුතු අතර පිට කෙනෙකු ඇප ගැල්වීම සුදුසු නොවේ. දානය සඳහා වාඩි වන මවුවරුන් තරුණ වූවාට කම් නැතිමුත් ඇප ගල්වන කිරිමව දානය සඳහා මූලිකත්වය ගන්නා වැඩිහිටි කිරි අම්මා කෙනෙකු වීම සිරිතකි.
දානය දීමට දින තුනකට පමණ පෙර සිට දානය දෙන ස්ථානය ශුද්ධ පවිත්‍ර කොට කොහොඹ කොළ අත්තක් එල්ලා ඒ බව දැන්විය යුතු ය.
දානයට පෙර දින හෝ දින සතරකට පෙර කිරි දානය පවත්වන ස්ථානය පිරිසිදු කොට කහ දියර ඉස , කිරෙන් දෝවනය කරවා සුවඳ දුමින් සුවඳවත් කිරීම සිදු කරයි. සුදු හඳුන් කුඩු , කහ කුඩු හා පොල් කිරි මිශ්‍ර කර තනාගත් සඳුන්කිරිපැණි ගෙතුළ ඉසීම ද උචිත ය. දානය දෙන ස්ථානයේ මිදුලේ සුදුසු තැනක හා ගෙතුල ද ගොක් අතුවලින් මල් පැල බැඟින් තනා ඒ මල් පැල දෙකටම පිරිසිදු කෙසෙල් කොළය බැඟින් දමා ඒ මත බුලත් තැබීම සිදු කරයි. ගෙතුල තැනූ මල් යහන මත කිරිදානය සඳහා බාර වීමට ගැට ගැසූ පඬුර හා කුඩා කහ පැහැති කොඩියක් තබයි. පත්තිනි මෑණියන්ගේ රූපයට පැළඳවීම සඳහා කහ පැහැති මලින් ගොතන ලද මල් මාලයක් අවශ්‍ය වන අතර විශේෂ පූජා වට්ටියක් ද සූදානම්
කරගත යුතුය . ඒ සඳහා,
- අඹ,ඇඹුල් කෙසෙල් ඇතුළු පලතුරු වර්ග 7
- තැඹිලි ගෙඩියක්
- කිරිබත් කැට , කිරියා සහ අතිරස ඇතුළු කැවිලි වර්ග 7
- රිදී පඬුරු 7
- සුවඳ බුලත්විට 7
යොදා ගැනෙයි. දානය අවසානයේ දී පත්තිනි මෑණියන් නමින් පුද කළ මේ පූජාව කිරි අම්මාවරුන් අතර බෙදා ගැනීම සිදු වේ.
ඉතා භක්තියෙන් දැහැමෙන් සූදානම් කර ගනු ලැබූ කිරි අම්මාවරුන් උදෙසා පිළිගැන්වෙන දානය සඳහා කිරි අම්මාවරුන් නිවසට වඩින අවස්ථාවේ ද ඉටු කල යුතු පුරාතන චාරිත්‍ර කීපයකි. කිරි අම්මාවරුන් පෙළ සැඳී පැමිණෙන අතර පළමුවෙන් පැමිණෙන මහ කිරි අම්මා ( නායක කිරි අම්මා ) පත්තිනි දේවියගේ රූපයක් රැගෙන පැමිණෙයි. කිරි දානය දෙන ස්ථානයේ වැට කඩුල්ල අසල නතර වී සිටින කිරි අම්මලා අසලට මල් වට්ටියක් රැගෙන නිවසේ අයෙකු පැමිණිය යුතුය. එවිට කිරි අම්මලා මේ කවිය ගායනා කරයි.
මුදු හඳවත් බැතියෙන් පුරවන්නේ
සුදු පිරුවට ඇඳලා පේවෙන්නේ
බුදුවන පත්තිනි දෙවි නමදින්නේ
මිදුල ඉසව්වට ඇවිත් සිටින්නේ
එලෙස රැගෙන එන මල් වට්ටිය මෙහිදි මහ කිරි අම්මාට භාර දුන් විට එයින් මලක් බිම දමා ඉදිරියට පියවර තබන්නේ මල් වට්ටිය දෙවැනි කිරි අම්මාට භාර කරමිනි. ඇය වට්ටියෙන් මල් දෙකක් ගෙන බිමට දමා නැවත වට්ටිය තුන්වන කිරි අම්මා වෙත භාර දුන් තැනේ දි ඇය මල් තුනක් බිම දමා පියවර තබා මල් වට්ටිය සිවුවැනි කිරි අම්මාට භාර කරවයි. මෙලෙස පෙලට පිළිවෙළින් කිරි අම්මාවරුන් මෙම චාරිත්‍රය ඉටු කරමින් මිදුලේ පසෙකින් තැනූ මල් යහන වෙත ගොස් පහන් දල්වා මල් පූජා කරමින් මෙම කවිය ගායනා කරයි.
විතර නොවේ සක්වල තුළ පත්තිනි තෙද බල
නිතර සරණ වෙන මුදු ගුණ රඳවා හද තුළ
පැතිර පවත්තා අණ වින බාධක මතු කළ
ඉතිරි නොවී දුරුවන් වෙයි මින් මතු හැම කල
මහ කිරි අම්මා අතැති පත්තිනි රුව ගෙදර අයෙකු භාරගන්නා අතර එය දානය දෙන ස්ථානයේ මල් යහනක තැන්පත් කරයි. කිරි අම්මාවරුන්ගෙ පා දෝවනය කොට ගෙට කැඳවාගත් පසු බුද්ධ පූජාව තබා පන්සිල් සමාදන් වේ. අනතුරුව සියලුම වර්ගවලින් හත බැඟින් මල් යහනේ තබා මල් , පහන් , සුවඳ දුම් පූජා කොට පත්තිනි ස්ත්‍රෝත්‍ර ගායනා කරයි. සත්පත්තිනි මෑණියන්ට ආරාධනා කිරීමෙන් අනතුරුව කිරි අම්මාවරුන්ට දානය පිළිගන්වා අවසානයේ පත්තිනි මෑණියන්ට කන්නලව් කොට කිරි අම්මාවරුන්ගේ කන්නලව්ව සිදු කර නිවැසියන්ට සෙත ශාන්තිය උදා කරවයි. පත්තිනි මෑණියන් කෙරෙහි භක්තියෙන් යුතුව දානයට වාඩි වී නිවැසියන්ට සෙත සලසා දානය ගෙන අදාල චාරිත්‍ර ඉටු කොට නිවසින් පිටතට පැමිණි පසු නැවත හැරී නිවැසියන් සමඟ කතාබස් කිරීම සිදු නොකල යුත්තකි. ඇතැම්විට ඉහත චාරිත්‍ර විධි ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු වෙනස්කම් වලින් යුක්ත විය හැකිය. දානය දී අවසන් වූ පසු නිවසේ ඉතිරි කෑම සියල්ල දවහල් 12 ට පෙර බෙදා
පත්තිනි මෑණියන් මූළික කර ගනිමින් සිදු කරනු ලබන මෙම දානයේ දී රිද්දි බිසෝ අම්මාවරුන් සත් දෙනාට ද කුකුළා පොළ කිරි අම්මා , කොස්ගම කිරි අම්මා , යන කිරි අම්මාවරුන්ට ද පින් අනුමෝදන් කිරීම හෙළ සිරිතයි. කිරි අම්මාවරුන් වෙනුවෙන් දෙනු ලබන දානයන් වලදී නියමාකාරයෙන්ම එම දාන සිදු කිරීමෙන් ඔබට නිරතුරුවම ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය සෑදේ. මෙය මහත්ඵල මහානිසංස දෙනු ලබන උතුම් පිං කමකි.
ලත් විවරණ බුදු බවට ලොබින්දා
ලක් දිව දැහැමට පතිනි සුරින්දා
සත්වර රන් අඹයේ උපනින්දා
සෙත් කර අනුහසිනේ දොස් සින්දා
තෙරුවන් සරණයි!
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුය. සටහන – උමේෂ් මේනුක
( අන්තර්ජාලය , ඓතිහාසික මූලාශ්‍ර හා ජනප්‍රවාද ඇසුරෙන් )
මාධ්‍ය අංශය ,
කඩුදෙවොල රංකඩු පත්තිනි දේවාලය,
කඩුවෙල.