Skip to content Skip to sidebar Skip to footer

ලක්ෂ්මී දෙවියන්

ධනයට , සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දෙවියන් ශිව සහ පාර්වතියගේ වැඩිමහල් දියණිය ලෙසින් සැළකෙන ලක්ෂ්මී දිව්‍යාංගනාවුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ පතිනියයි. ධනයට , වාසනාවට හා සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවියක් ලෙසින් ප්‍රචලිත ලක්ෂ්මී දේවිය වෛකුන්තය වාසභවන කොට වාසය කරයි. 

ලක්ෂ්මී දේවිය හදුන්වනු පිණිස බොහෝ අන්වර්ථ නාමයන් පවතින අතර ඒ සියල්ලක්ම පාහේ නෙළුම් මල සම්බන්ධ කොටගෙන පැනනැගී ඇත. ඒ ඇය හා නෙළුම් මල අතර සුවිශේෂී සබඳතාවක් පවතින නිසාවෙනි. පද්මමාලාධරදේවි , පද්ම සුන්දරී , කමලිකා , ලලිමා , පද්ම හස්ථ , කමලාදේවි , පද්ම ප්‍රිය , මුනිශ්‍රී හා ඉන්ද්‍රා ආදි නාමයන් ලක්ෂ්මී දේවිය හදුන්වනු පිණිස භාවිතයේ පවතී.

ලක්ෂ්මී දෙවඟනගේ ස්වරූපයන් අටකි. එය අෂ්ඨ ලක්ෂ්මී ලෙසින් හැදින්වේ. එම ස්වරූපයන් අට ලක්ෂ්මී දෙවඟන බලපවත්වන දේ සමඟ රදා පවතී.

* ආදි ලක්ෂ්මී
* ⁠ධාන්‍ය ලක්ෂ්මී
* ⁠ධෛර්‍යය ලක්ෂ්මී
* ⁠ගජ ලක්ෂ්මී
* ⁠සන්තාන ලක්ෂ්මී
* ⁠විජය ලක්ෂ්මී
* ⁠විද්‍යා ලක්ෂ්මී
* ⁠ධන ලක්ෂ්මී
ලෙසින් මෙම ස්වරූපයන් අට පුරාණ දේව සාහිත්‍යයේ සඳහන්ව පවතී.

ලක්ෂ්මී දෙවඟනගේ පුරාවෘතය ගත්කල හින්දු ධර්මයට අනුව ඇය ලොව පහල වන්නේ ශිව දෙවියන්ගේ හා පාර්වතී දේවියගේ වැඩිමහල් දියණිය ලෙසින් වුවත් ඇඟේ ජන්මය පිළිබඳව තවත් ජනප්‍රවාද කතා පවතී. ඒ අතර විෂ්ණු පුරාණයේ දැක්වෙන පරිදි ලක්ෂ්මී දේවිය යනු භිග්ගු සහ කසාතිගේ දියණියයි. ස්වර්ගයේ ජීවත් වූ ඇය දුර්වාස නම් වූවෙකුගේ සාපය නිසා ක්ෂීර සාගරය ඇගේ වාසස්ථානය ලෙසින් තෝරාගෙන වාසය කරන අතරතුර ක්ෂීර සාගරයේ වූ කැළඹීමක් නිසා ලක්ෂ්මී දෙව්දුව නැවත ලොව පහළ වූ බවක් කියැවේ.

පෙර සඳහන් කල පරිදි කිරි සයුර කැළඹීමේ දි මතු වූ අඟනා වස්තූන් අතරින් ලක්ෂ්මී දේවියගේ පහළ වීමත් සිදු වූ අතර ඇය තම වල්ලභ දෙවියන් ලෙසින් විෂ්ණු දෙවියන් තෝරා ගන්නා ලද්දේ සියළු මායා බන්ධන බලයන් දුරු කිරීමේ හැකියාව විෂ්ණු දෙවියන්ට පමණක් ඇති බව දන්නා නිසාමය. කිරි සයුර කළම්බා සාගරයෙන් මතු වූ දියණියක් වන නිසාම ලක්ෂ්මී දෙවියන් සාගරයේ දියණියක් ලෙසින් සැළකේ. ලක්ෂ්මිය මෙන්ම ආලක්ෂ්මිය ද මෙසේ පහල වූ දෙවඟනක් ය. ඇය ලක්ෂ්මී දෙවියන්ගේ වැඩිමල් සොහොයුරිය ලෙසින් හැදින්වෙන අතර ඇය අභාග්‍යයේ දෙව්දුවයි. ඇය නපුරු දෙවඟනක් වන අතර ලක්ෂ්මී දෙවියන් කරන දේට ප්‍රතිවිරුධව ක්‍රියා කරයි.දුප්පත්කම , දැඩි ශෝකය , ගැටුම් , බාධක , අසාර්ථකවීම් , ප්‍රමාද දෝෂ ආදිය ඇය ලබා දෙයි.

ලක්ෂ්මිය යනු විෂ්ණු දෙවියන්ගේ ශක්තිය හා මායාව වේ. මෙය ” ශ්‍රී චෛශ්නිවිසම් ” යන සංකල්පය සමඟ මනාව ගැළපේ. එනම් ලක්ෂ්මිය යනු හුදෙක්ම ධනයට බලයට අධිපති දෙවඟන පමණක්ම නොවන බවත් දෙවඟනන් අතර අග්‍රතම දෙවඟන ලක්ෂ්මිය වන බවත් ය. ධනයට , සෞභාග්‍යයට අධිපති වන්නා වූ ලක්ෂ්මී දේව මෑණියන් වහන්සේගේ පිහිටාරක්ෂාව ඔබ සැමට නිතැතින්ම ලැබේවා!

ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!

තෙරුවන් සරණයි!

✍️ උමේෂ් මේනුක


මාධ්‍ය අංශය,
කඩුදෙවොල රංකඩු පත්තිනි දේවාලය,
කඩුවෙල.

Umesh
Content Writer

Leave a comment