Skip to content Skip to sidebar Skip to footer

සුමනසමන් දිව්‍යරාජයානන් වහන්සේ

ලක්දිව ප්‍රාග් බෞද්ධ යුගයේ පටන් වැඳුම් පිදුම් ලබන ගෞරවාදරයට පත් වූ දෙවිකෙනෙක් වශයෙන් සුමනසමන් දෙවියන් හැදින්විය හැකිය. සමන්තකූඨ පර්වතයට අධිපතිව නෙලුම් මලක් සොඬින් ගත් සුදු ඇතෙකු වාහනාරූඪව සැරිසරන සෞම්‍ය කරුණා බරිත සැදැහැවත් බෞද්ධ දෙවිකෙනෙකු වන සුමනසමන් දෙවියන් පිළිබඳ මුල්වරට අනාවරණය වන්නේ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනයත් සමඟය. මහාවංශයේ පළමුවන පරිච්ඡේදයේ සඳහන් වන පරිදි අප මහා තථාගත ගෞතම බුදුන් වහන්සේ මහියංගණයට වැඩම කල අවස්ථාවේ සුමනකූඨ වාසි සෝවාන් ඵලයට පත් මහා සුමන නම් දෙවි කෙනෙක් වන්දනාමාන කිරීමට පූජ්‍ය වස්තුවක් ඉල්ලූ කල බුදුන් වහන්සේ සිය හිස පිරිමැඳ හිසකෙස් මිටක් සුමන්සමන් දිව්‍යරාජයා වෙත දුන් බවත් දෙවියන් ඒ කේශ ධාතූන් නිදන් කොට එම ස්ථානයේ ස්තූපයක් කරවූ බවත් සඳහන් ය. ඒ ලංකා භූමිතලය තුළ ඉදි වූ පළමු දාගැබ ලෙස සැළකෙන මහියංගණය චෛත්‍යයයි.උඩරට නර්ථන කලාවේ එන වන්නම් 18 අතුරින් එක් වන්නමකින් ගණ දෙවියන්ගේ රූප ස්වභාවය මෙලෙස ගෙනහැර දැක්විය හැක.

sumana saman dewiyan

තව ද බුදුරදුන්ගේ තෙවන ලංකාගමනය ලෙස සැළකෙන කැළණියට වැඩි ගමනේ දී යථෝක්ත නම් දෙවි කෙනෙක්ගේ ඇරයුමෙන් සුමනකූඨ මස්තකයෙහි බුදුන් වහන්සේගේ සිරිපතුල ( ශ්‍රී පාද ලාංජනය ) පිහිට වූ බවට මහාවංශය සාක්ෂි දරයි. බුදුන් වහන්සේ සමනල පව්වේ සිරිපතුල තබන අවස්ථාවේ ” මතු ශ්‍රී පාද වන්දනාවේ එන නරයන්ට වන වෙහෙස……” ගැන බුදුරදුන් විචාළ කල්හී ” සියලුම අනතුරු මම දුර හරවමි ” යැයි සමන් දෙවිඳුන් ශ්‍රී පාදස්ථානය වැදපුදා ගැනීමට එන සියලු බැතිමතුන්ට ආරක්ෂාව සළසන බවට පොරොන්දු දුන් බව ඉතිහාසයේ සඳහන් වේ.

සුමනසමන් දෙවියන් ” සමන් බොක්සැල් ” , ” මහා සුමන “,”යක්ඛ සුමන ” යනාදි නම් වලින් ද හැදින්වෙන අතර සුමනසමන් දෙවියන් යනු බුදුරජාණන් වහන්සේ ලක්දිව වැඩම කරන අවස්ථාවේ මෙහි සිටි ජනප්‍රධානියෙකු බවත් මේ සමන්තභද්‍ර නම් බෝධි සත්ත්වයන් බව හා සමන්තකූඨයට අධිපති වූයේ සමන්තභද්‍ර යන වගත් සුමන සමන් දෙවියන්ගේ ප්‍රභවය පිළිබඳ විමර්ශනයේ දී පෙනී යයි. තව ද සුමනසමන් දෙවියන් යනු රාම කුමරුන්ගේ සොහොයුරා වන ලක්ෂ්මණ බව ද එක් මතයකි. මේ මතය සයවැනි පැරකුම්බා යුගයට අයත් සපරගමු මහසමන් දේවාල සන්නසින් තහවුරු වෙයි. සමන් දෙවියන් යනු පුරාණ වෛදික දෙවිවරයකු වන ” යම ” දෙවියන් බව සෙනරත් පරණවිතානයන්ගේ මතයයි. භූරිදත්ත ජාතකයේ පැරණි දෙවිවරුන්ගේ නම් සඳහන් කරන විට “යම” යන්න සිංහලයට නගා ඇත්තේ සුමන යනුවෙන් බවත් යම දෙවියන්ට යෙදෙන පර්‍යාය නාමයක් වන ධර්මරාජ යන්න සමනොල කන්දට නඟින විට හමුවන ස්ථානයක තබා ඇත්තේ ද ඒ නිසා බවත් පරණවිතානයන්ගේ ” ගෝඩ් ඔෆ් ඇඩම්ස්පීක් ” ග්‍රන්ථයේ සදහන් වේ. දීඝනිකායේ ආටානාටිය සූත්‍රයේ එන “යක්ඛ සුමන” යනු මේ දෙවියාම යැයි ද ඔහු පෙන්වා දෙයි. sumana saman dewiyan

ක්‍රි.ව. 1236 රජ වූ දෙවන පැරකුම්බා රාජ අණින් දඹදෙණි යුගයේ දී දේව පතිරාජ ඇමතියා විසින් ගම්පොළ දී සර්වාංග ලක්ෂණ ඇති සමන්දේව ප්‍රතිමාවක් නෙළවා මහා පෙරහරින් ගෙන්වා සිරිපා මළුවෙහි පිහිටි සමන් දේවාලයක තැන්පත් කළ බව පූජාවලියෙහි හා චූලවංශයෙහි සඳහන් වේ. සමන්කුළු මළුවේ ඇති ඉපැරැණි සමන් දේවාලය මහාපරාක්‍රමබාහු රජතුමන් විසින් කරවන ලදැයි කියවේ. රත්නපුර මහා සමන් දේවාලය දෙවන පැරකුම්බා ‍රාජ අණින් ආර්‍යකාම දේව නම් අමාත්‍යවරයා විසින් කරවන ලද්දකි. අනතුරුව කෝට්ටේ සයවන පැරකුම්බා රාජ සමයේ දී යථෝක්ත ආර්‍යකාම දේවගේ පරපුරෙන් ආ නීලපෙරුමාල් නම් බමුණු පඬිවරයා ලවා දෙවොල පිළිසකර කරවා නින්දගම් පිහිටුවා පුදපූජා කරන ලද බව ප්‍රකට කරුණකි.

සමන් දෙවියන්ගේ සමේ වර්ණය කහ හෙවත් රන්වන් පැහැතිය. අතෙහි උත්පලයක් හා තවත් මතයකට අනුව දඹුලු විහාරයේ ඇති සමන් ප්‍රතිමාව මෙන් වරද මුද්‍රාව සහිතව බෝධිසත්ව විලාසයෙන් එම දෙවියෝ පෙනී සිටින බව සඳහන් ය.

සුගතිඳු සිරිසරණ සරපැළඳි මුදුනත
පරසිඳු පුර රජුගේ මුළු තෙදියතෙක නෙත
පැහැවිදු රන් පටින් හෙබි සොඳුරු නළලත
විදුකිඳු තොර නොවන ගනකුලෙක සිරිගත

සැවුල් සංදේශයේ 188 වන පද්‍යයේ විස්තර වන පරිදි සුමන සමන් දිව්‍ය රාජයා භක්තියෙන් යුතුව බුදුන් සරණ ගිය සියලු ජනයාගේ මහත් වූ ගෞරවාදරයට පත් වූ දෙවි කෙනෙකි. සමන් දෙවියන්ගේ කරුණාවෙන් බර වූ නිල්වන් දෑසින් සියලු සතුන් වෙත එකලෙසින් කරුණාව දක්වා වැඩ සිටි බව පිළිඹිබු වේ.

වර්තමානයේ සමන් දෙවියන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වෙන්නේ සබරගමු පළාතේ වන නමුත් කෝට්ටේ යුගය වන විට ලක්දිව සතර වරම් දෙවිවරුන් අතුරෙන් කෙනකු ලෙස පිළිගෙන තිබිණි. හංස සන්දේශයේ 198 වන කවෙහි එය මනාව දක්වා තිබේ.

Saman-Devalaya-Rathnapura

මහත් තෙදැති පුල්වන් සුරිඳු මුල් කොට
දිමුත් සමන් බොක්සල් සුරිඳු නෙත් කොට
සවත් සුරිඳු විබිසණ ඈ සුරන් හට
පිරිත් කියා පින් දී සිත සතුටු කොට

සමන් දෙවියන් හා සම්බන්ධ ප්‍රධාන පෙරහැර දෙකකි. මහියංගණය හා සබරගමු මහා සමන් දේවාල දෙකෙහි කෙරෙන මෙම පෙරහැර මහනුවර ඇසළ මංගල්‍යය අවසන් වීමෙන් පසු ඇරඹේ. ඊට අමතරව උදුවප් පෝයෙන් ඇරඹෙන සිරිපා වන්දනා සමයේ දී සුබ මොහොතින් සමන් දෙව් රුවක් සිරිපා මළුව වෙත වඩමවා ගෙන යනු ලබන අතර දැවයෙන් නිමකොට ඇති එම ප්‍රතිමාව කීර්ති ශ්‍රී රජ දවස කරවන ලද්දක් යැයි මතයක් පවතින අතර දෙවන පැරකුම්බා රජ දවස කරවන ලද්දක් යැයි ද තවත් මතයකි. ප්‍රතිමාව පැල්මඩුල්ලේ ගල්පොත්තාවල විහාරයේ සිට වැඩම කෙරෙන අතර පලාබත්ගල රජමහා විහාරයේ සයමසක් තබා එතැනින් සිරිපා මළුවට වැඩම කරනු ලබයි.

සමනල කන්ද ආසන්නයේ සමන් දෙවියන්ගේ උයනක් වන බවට විශ්වාසයක් පවතී. ශ්‍රී පාද වන්දනාවට ගොස් අතරමං වන අය මෙම උයනට යැවෙන බව ද ඔවුන් සමන් දෙවියන්ගේ පිහිට ලබා නැවතත් මහජනයා අතරට පැමිණෙන අතර උයනේදීම ඒවා කෑවොත් මිස ඉන් පිටතට ගෙන ඒමට සමන් දෙවියන්ගේ අවසරය නොමැති බව ඔවුන්ගේ විශ්වාසයයි. සමන්තකූඨ පර්වතයට , ශ්‍රී පාදස්ථානයට , දිවාගුහාවට, බෑන සමනලට , සබරගමු දේවාලයට , එල්ලග්ගලට , නිවිතිගලට , දැරණියගලට , බොල්තුඹේට , උණවටුනට , රන්තැඹිලි විමානෙට සමන් දෙවියන්ගේ අණසක පවතින බවට දේව කන්නව්වේ සඳහන් ය. හිමාල වනයට හා පංචමහා ගංගාවන්ට ද බැල්ම ලා වැඩ වදාරන්නා වූ ලාංකේය සම්බුද්ධ ශාසනයටත් ශ්‍රී ලංකාද්වීපයටත් නිබඳ ආරක්ෂාව සපයන අලි ඇතුන්ට අධිගෘහිත ශ්‍රී සුමනසමන් දිව්‍යරාජයාගේ පිහිට ආරක්ෂාව ඔබ සැමට නිරතුරුව ආශිර්වාදයක් වේවා.

ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුය.
සටහන – උමේෂ් මේනුක
( අන්තර්ජාලය , ඓතිහාසික මූලාශ්‍ර හා ජනප්‍රවාද ඇසුරෙන් )

මාධ්‍ය අංශය ,
කඩුදෙවොල රංකඩු පත්තිනි දේවාලය,
කඩුවෙල.

Umesh
Content Writer

Leave a comment