Skip to content Skip to sidebar Skip to footer

සතරවරම් දෙවිවරු

ශක්‍ර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ දේව අණසකට අනුව මෙලොව සිව් දිශාව පාලනය කරන්නා වූ සිව් දෙසට අධිපති දෙවිවරුන් වශයෙන් ධෘතරාෂ්ට්‍ර , විරූඪ , විරූපාක්ෂ හා වෛශ්‍රවණ දෙවිවරුන් සැළකේ. චතුභාණවාර පාලියෙහි එන මහාසමය සූත්‍රයෙහි සඳහන් වන පරිදි කෝටි ලක්ෂයක් ගාන්ධර්වයින්ට අධිපතිව පූර්ව දිශාව හෙවත් නැගෙනහිරට අධිපති දෙවියන් ලෙස ධතරට්ඨ හෙවත් ධෘතරාෂ්ට්‍ර දෙවියන් හැදින්වේ. කෝටි ලක්ෂයක් කුම්භාන්ඩයින්ට අධිපතිව දකුණු දිශාව භාරව විරූළ්හ හෙවත් විරූඪ දෙවියන් කටයුතු කරයි. එසේම කෝටි ලක්ෂයක් නාගයින්ට හා පච්චිම හෙවත් බටහිර දිශාවට අධිපති දෙවියන් ලෙස විරූපාක්ෂ දෙවියන් ද ආලකමන්දාව අගනගරය කරගනිමින් කෝටි ලක්ෂයක් යක්ෂයින්ට හා උතුරු දිශාවට අධිපතිව වෛශ්‍රවණයන් ද වැඩවාසය කරයි. මොහු “කුවේර , වෙස්සවණ ” යන නම් වලින් ද නරයෙකු වාහනාරූඪව වැඩවසන හෙයින් “නරවාහනෝ” ලෙසින් ද හදුන්වනු ලබයි.

 

පුරිමා දිසං ධතරට්ඨෝ

දක්ඛිණේන විරූළ්හකෝ

පච්චිමේන විරූපක්ඛෝ

කුවේරෝ උත්තර දිසං

බෞද්ධ සම්ප්‍රදායානුකූලව සැළකූ කල ලෝකපාලක දෙවිවරුන් වශයෙන් සැළකෙන සිවුමහා දෙවියන් පිළිබඳ බොහෝ තැන්වලදී ත්‍රිපිටකය තුළ ද සඳහන් වේ.

ජාතකට්ඨ කතාවෙහි නිධාන වර්ණනාවට අනුව මහාමායා දේවිය දුටු සිහිනයෙහි දැක්වෙන පරිදි උපෝසථ සමාදන්ව යහන් ගත වූ දේවිය නිදන් සිටි යහන සතරවරම් දෙව්මහාරජවරු හිමාලයට ඔසවා ගොස් සැට යොදුන් පමණ විශාල රන් ගල්තලාවක සත් යොදුන් පමණ වන සල් ගස් දෙකක් යට තබා ගිය පසු සතරවරම් දෙව්බිසෝවරුන් පැමිණ  මහාමායා දේවිය අනෝතත්ත විලට ගෙන ගොස් සුවඳ පැනින් නහවා දිව්‍යමය වස්ත්‍ර අන්දවා දිව මල් පළඳා දිව්‍ය යහනක සැතපූ බව කිය වේ. සතරවරම් දෙවිවරුන්ට අමතරව ඔවුන්ගේ භාර්‍යාවන් පිළිබඳව ද සඳහන් වීම මෙහි විශේෂත්වයකි. 

තව ද මජ්ඣිම නිකායේ අච්ජරියභූත සූත්‍රයෙහි දැක්වෙන පරිදි අප මහා බෝසතාණන් වහන්සේ මවුකුස පිළිසිඳ ගත් මොහොතේ පටන් මොලොව එළිය දකිනා තෙක්ම බෝධිසත්වයානන්ටත් බෝසත් මවටත්  මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ කිසිවෙකුගේ කරදර උපද්‍රවයක් වන්නට ඉඩ නොදී සතර වරම් දෙව් මහ රජවරුන් සිවුදිග ආරක්ෂා කර ඇත.  

“යදා ආනන්ද! බොධිසත්තො මාතුකුච්ජිං ඔක්කන්තො හොති,චත්තාරො නං දෙවපුත්තා චතුද්දිසං ආරක්ඛාය උපගච්ජන්ති. මා නං ඛො බොධිසත්තං වා බොධිසත්තමාතරං වා මනුස්සො වා අමනුස්සො වා කොචි වා විහෙඨෙසීති”

එසේම බෝධි සත්ත්වයන් වහන්සේ මව් කුසින් නික්මෙන මොහොතේ දිව්‍ය පුත්‍රයන් සතර දෙනෙකු ඔහු පිළිගත් බව කිය වේ. ඒ සතරවරම් දෙවිවරුයි.  පසුව “දේවියනි, සතුටු වුව මැනව ඔබට මහේශාක්‍ය පුතෙක් උපන්නේය”යි කියා මහාමායා දේවියට බෝසත් බිළිඳා භාර කරන ලද බව ද අච්ජරියභූත සූතයෙහි කියවේ. තවද සුජාතා සිටු දියණිය විසින් පූජා කරන්නට යෙදුණු කිරිපිඬු පූජාවට ද සතරවරම් දෙවිවරු සහභාගි වූ අයුරු ජාතකට්ඨ කතාව තුළ මෙලෙස සඳහන් වේ. 

“එසමයෙහි ලෝකපාලක දෙවියෝ සතරදෙනා පැමිණ කිරිබත පිසෙන උඳුනේ සිවුදිග ආරක්ෂාව ගත්හ”

ඉන්පසු ඇසතු බෝ රුක මුල දී දසමාර සේනාවන් පරාජයට පත්කරමින් තුන් ලොවක් සදහම් සිසිලෙන් සනහා වදාළ අප අමාමෑණි ලොව්තුරා සම්බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වූ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ වෙත සතරවරම් දෙවිවරුන් විසින් ශෛලමය පාත්‍ර සතරක් පූජා කල බව මහාවග්ග පාලියෙහි සඳහන් වේ.

දාඨාවංශයෙහි සඳහන් වන පරිදි රාජායතනයෙහි දින හතක් ගත කළ ගෞතම බුදුන් වහන්සේට , ශක්‍ර දේවෙන්ද්‍රයා විසින් දැහැටි ද මුව දෝවනාදිය ද පූජා කරන ලදී. එහි පැමිණි සතරවරම් දෙවිවරු විසින් පූජා කරන ලද ශෛලමය පාත්‍ර හතර එකක් ලෙස අධිෂ්ඨාන කොට ගෙන , මී පැණි විළඳ එහි පිළිගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් වළඳන්නට විය. 

“දුමෙ’පි රාජායතනෙ සමාධිනා, විහාසි රත්තින්දිව සත්තකං මුණි, සහස්සනෙත්තො අථ දන්තපොණකං මුඛොදකඤ්චාපි අදාසි සත්ථුනො”

” තතො මහාරාජවරෙහි ආභතං සීලාමයං පත්ත චතුක්කමෙකකං විධාය මත්ථං මධුපිණ්ඩිකං තහිං පටිග්ගහෙත්වාන සවාණිජාහටා”

 

මෙසේ බුදුන්වහන්සේ පිරිනිවන් පාන මොහොත දක්වාම විවිධ අවස්ථා වල සතරවරම් දෙවිවරුන්ගේ සම්බන්ධය ත්‍රිපිටකය පුරා සඳහන් වේ.

එසේම මෑත ඉතිහාසය ගත් කල අනුරාධපුර යුගයට අයත් නටඹුන් වලින් හා කැළණි විහාරයේ ඇති බිතුසිතුවම් තුළින් ද සිව්වරම් දෙවියන් පිළිබද තතු හෙළි වේ. අටවන සියවසට අයත් යැයි සැළකෙන මිහින්තලේ චෛත්‍යයක ධාතුගර්භය විවෘත කළ අවස්ථාවෙ එහි සතර දිශාවට අයත් බිත්ති සතරේ මෙම සතරවරම් දෙවිවරු රූපගත කොට තිබූ බව කියවේ.

දහඅටවැනි සියවසේ ලියවුණු මන්දාරම්පුර පුවත , සුළු පූජාවලිය වැනි කෘතිවල සිව් දේවාල සංකල්පය දක්නට ලැබෙන අතර ගම්පොළ යුගයේ රචිත නිකාය සංග්‍රහය තුළ මෙකළ ආරක්ෂක සිව්දෙවිවරුන් ලෙස කිහිරැලි උපුල්වන් , සමන් බොක්සැල් , විභීෂණ හා ස්කන්ධ කුමාර යන දෙවිවරුන් සිටි බව කියවේ.  ගම්පොළ යුගයේම රචිත ඇතැම් කඩයිම් පොත් වල ලක්දිව අරක්ගත් දෙවියන් තුන් දෙනෙක් ගැන පමණක් සඳහන් වේ.

“විභීෂණ සමන් විෂ්ණු ගෙ තෙද මෙලකට

රජ කළ දවස සිරිලක බෙදුණේ තුනට

රුහුණ පිහිටි මායා රට තුනක් කොට

මෙලකට ත්‍රි සිංහල නම් වේ එදා සිට”

හංස සංදේශයේ 198 වන දසපද හෑල්ලට අනුව කෝට්ටේ යුගයේ පැවති විශ්වාසය අනුව උපුල්වන් දෙවියන් මුල්කොට සමන් බොක්සැල් , කතරගම , විභීෂණ යන දෙවිවරුන් ලක්දිව ප්‍රධාන දෙවිවරුන් සේ සළකා ඇත. ලක්දිව අවසන් රාජධානිය සේ සැළකෙන මහනුවර තම රාජධානිය පිහිට වූ පළමුවන විමලධර්මසූරිය රජු විසින් දළදාමැදුර සමඟ සිව්මහා දේවාල කරවූ බව සඳහන්‍ ය. දහසය වැනි සියවසෙහි අභිෂේක ලත් දෙවැනි රාජසිංහ රජතුමන් මහනුවර ඇසළ පෙරහැර පවත්වා ඇත්තේ අලුත්නුවර උපුල්වන්  දෙවියන් , කතරගම හා පත්තිනි දෙවියන් මුල් කොට ගෙන බවත් මහනුවර රාජධානිය අවසන් වන විට සිව් මහා දේවාල ලෙස නාථ , විෂ්ණු , කතරගම හා පත්තිනි දේවාල පැවති බවත් ප්‍රකට කරුණකි. 

මේ වන විට සිව්වරම් දෙවියන් ලෙස විෂ්ණු , නාථ , සමන්, කතරගම දෙවියන් සළකන බවත් මීට අමතරව විභීෂණ පත්තිනි ‍යන දෙවිවරුන් ද මෙහිලා සළකන බවත් කියවේ. මේ අනුව පැහැදිලි වන්නේ සිව්වරම් යන්න ප්‍රධාන හෙවත් වැදගත්ම යන අරුත් දෙන බවත් සංඛ්‍යාත්මක වැදගත්කමක් එහිලා වැදගත් නොවන බවත් ය.  කෙසේ වෙතත් ධෘතරාෂ්ට්‍ර , විරූඪ , විරූපාක්ෂ , වෛශ්‍රවණ යන්නා වූ සතරවරම් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව සතර දිග පුරා මේ ලංකාද්වීපය පුරාවට තව චිරාත්කාලයක් පුරා පවතිනු ඇත. 

සටහන – උමේෂ් මේනුක.

ආශ්‍රිත ග්‍රන්ථ –

  • සිංහල දේව පුරාණය
  • සිව්හෙළ දෙවිවරු
  • අතිපූජනීය තපෝවනයේ රතන හිමිගේ සතරවරම් දෙවිවරු                      

ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!

තෙරුවන් සරණයි!

මාධ්‍ය අංශය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.

කඩුවෙල.

Umesh
Content Writer

Leave a comment