Skip to content Skip to sidebar Skip to footer

දෙවොල් දෙවියන්

ඉතාමත් දැඩි භක්තියකින් හා ගෞරවයකින් ශ්‍රී ලාංකික බැතිමතුන් විසින් අදහනු ලබන දෙවිවරුන් අතුරින් දෙවොල් දෙවි සත්කට්ටුවටද හිමි වන්නේ ඉතාමත් වැදගත් ස්ථානයකි. සතර දෙවොල් බණ්ඩාර , රටවන් දෙවි , දෙවොල් යකුන් හා වාහල හාමුදුරුවෝ ආදි වූ විවිධ නම් වලින් යම් යම් ස්ථාන වල හදුන්වා ඇත්තේ ද මේ දෙවොල් දෙවියන්ම වේ. මහවැලිවංසය නම් කෘතියෙහි මොවුන් දොළහ දෙවියන් අතරෙහිලා සඳහන් කර ඇතත් එහි ඔවුන්ගේ නම් පිළිබඳ කිසිදු සටහනක් දක්වා නොමැති නමුත් සිංහල ශබ්දකෝෂයේ දෙවොල් දෙවි සත්කට්ටුවේ නම් ඉදිරිපත් කරලීමට කිසියම් වූ උත්සාහයක් දරා ඇති බව පැහැදිලි ය.. දෙවොල් සාමි , අලුත් බණ්ඩාර , මහාසාමි , ඉරුරැස් සාමි , සඳරැස් සාමි , තෙදරැස් සාමි , ගඟේ බණ්ඩාර නමින් එය සටහන්ව පවතී.

දෙවොල් දෙවි උප්පත්ති කතාව පිළිබද අධ්‍යනයේ දී විවිධ ජනප්‍රවාද කතා රාශියක් අසන්නට ලැබෙන අතර රාමසිංහ නම් රජකෙනෙකු දඹදිව රජකරන කල්හි බිසෝවරු හත්සීයක් අතුරින් අග්‍ර වූ බිසෝවරු සත්දෙනෙකුන් (තෙදපති,ගුණපති,අමිතාපති,සිරිපති,මිහිපති,යසපති,ගිනිපති ) එකවර ගැබ් ගත් කල දසමස් පිරීමෙන් අනතුරුව දෙවොල් සාමි , අලුත් බණ්ඩාර , හිරුරැස්සාමි , සඳරැස්සාමි , තෙදරැස්සාමි , ගිනිරැස්සාමි හා ගඟේබණ්ඩාර නමින් කුමාරවරුන් සත් දෙනෙකු උපන්නාහ. කෙළිදෙලෙන් කල් ගෙවූ මෙකුමාරවරුන් කල් යත්ම චණ්ඩ ගතිපැවතුම් ඇත්තන් බවට පත්විය. වන සිවුපාවුන් , ගව මහීෂාදීන් හා ගම්වැසියන් ද මරා දමන්නට වූහ. මෙයින් මහත් වූ කෝපයට පත් රජතුමන් කුමාරවරුන් සත්දෙනා ඔවුන්ගේ පිරිස ද සමඟ රටින් පිටුවහල් කරන්නට වූහ. වඩුවන් ගෙන්වා නැව් සතක් සාදා සත්සීයක් පිරිවර ද වස්තුව ද සහිතව රටින් පිටුවහල් කල බව පැවසේ. මෙසේ පැමිණෙන අතරමග මහ මුහුදේ දී විපතට පත් වූ අතර ඉන් දිවි ගලවාගත් දෙවොල් කුමාරවරුන් සත්දෙනාත් කුරුම්බර නම් වූ සේවක පිරිසත් කැඩී සුණුවිසුණු වූ නැව් වල ලී දඩුවල එල්ලී එනු දුටු සක්‍ර දෙවිඳුන් මොවුන්ට ගල්නැවක් සාදා දුන් වවත් මණිමේඛලා නම් වූ දෙවඟන විසින් ගල්නැව ඉලිප්පෙන්නට සැලැස්වූ බවත් උප්පත්ති කතාවේ කියවේ.

මෙසේ පැමිණි කුමාරවරුන් සත්දෙනාත් දොළුවර , කණ්ණඩි , කව්සි , බඹර , යොන්පුර , අමරණ කුරුම්බර හා තවත් පිරිවර ද සමඟ පැමිණි කුමාරවරු වෙරළට ගොඩ බැසීමට තැන්කරන විට පත්තිනි දෙවඟන ඊට විරුද්ධ වූ නමුත් දෙවොල් හත්කට්ටුව සහ ඔවුන්ගේ ආරක්ෂකයෝ වන අඳුන්කුරුම්බර , හඳුන්කුරුම්බර , හෙට්ටිකුරුම්බර , එර්දිකුරුම්බා , මල්කුරුම්බර , ගිනිකුරුම්බර , රීරිකුරුම්බර , හැඩකුරුම්බර , දෙවොල්කුරුම්බර ආදි වූ දොළොස් දේවතාවෝ පත්තිනි දේවිය මොවුන්ගේ පැමිණීම වළක්වනු පිණිස මැවූ ගිනිකදු හත පයින් මැඩ නිවා සීනිගම අත්පත් කරගත් බව සදහන්ය.

ගිණි පෑගීමේ පූජා කර්මයේ ආරම්භය මෙය ලෙස ඇතැම් මූලාශ්‍ර ග්‍රන්ථ වල සඳහන් ය.

” දීප පසිඳු පත්තිනි දෙවියන් හට
කෝප කෙනෙක් සරි ලද්දෝ මෙපුරට
කීප දෙනෙක් බැස්සා ඇත වෙරළට
තාප දුන්නු ගිනි කඳන් මැවෙනට

සොබමන් පත්තිනි දෙවිඳු තෙදින් නේ
මවමින් ගිනිකඳු සත සැණෙකින් නේ
පනිමින් එහි ගිනි මැදට රොසින් නේ
නිවමින් ගිනි මැද පැන විගසින් නේ

නන් බරණින් සැරසී ගිනි කෙළිය ට
නන්බර තොප්පාරන් බැඳ සිරස ට
බිම්බර මෙන් සෙනඟක් රැස්වී සිට
නන්බර මුගුරක් අරගෙන සුරත ට

ජය ගත් සක් රජ සේම සිති න්නේ
කහ මුගුරක් තම සුරතට ගන් නේ
ළග ඇවිළෙන ගිනි මැදට පනින් නේ
රඟ බල ඔහොමයි දෙවොල් යකුන් නේ

නොදා තියන ගඟ දිය මෙන් සිහිල් වෙවී
උදාර යෙන් පැන ගිනි මැඳට සැක නොවී
අදා සිතින් ගොඩ බටු අණසක බෝවී
එදා පතිනි නම් තැබුවේ දෙවොල් දෙවි “

කොහොඹායක් කංකාරියේ කියැවෙන පරිදි පඩුවස්දෙව් රජුට වැළඳුණු දිවිදෝෂයත් සේරමාන් රජුට වැළඳුණු සුවකළ නොහැකි වූ හිසරුදාවත් දුරු කරනු වස් දෙවොල් යකැදුරන් ගෙන්වා දිගින් සැටරියනක් , පළලින් පහළොස් රියනක් හා උසින් නවරියනකින් යුක්ත වූ මණ්ඩපයක් සාදා එක් පස යහන් තනා රඹතොරණත් වාහල තොරණත් හා ඊට අමතරව සතර වරම් දෙවියන් වෙනුවෙන් පහන් පැල් ද තනා දෙවොල් යාගය ආරම්භ කරමින් දෙවොල් මඩුවක් නටන ලද බව කියවේ. 

මෙහිදී කලස්පාලිය , දුම්මල පාලිය , ඊගස්පාලිය,මල්පාලිය ආදි වූ සිව්සැට්ක් වූ පෙළ පාලිවලින් සහ මහායක්කම,සීතායක්කම,කුරුම්බරයක්කම,දෙවොල් යක්කම ආදි වූ යක්කම් කර දොස් දුරු කල බව පැවසේ.

සීනිගම වැඩ සිටි දෙවොල් දෙවියන් සීනිගමට කරදරයක් වූ බැවින් කඳකුමරුන් විසින් ඔවුන්ට තරවටු කෙරූ කතා පුවතක් ද ජනප්‍රවාදයේ එයි. 

“වැඩලා එතනට දෙවි කඳ කුමරු
දැකලා සෙනඟට කරපු අමාරු
සිටින්ට මෙතොපට මෙහි නැත මාරු
වැඩලා යන්නට කිව් මඟ සේරු “

 

දෙවොල් දෙවිවරුන් මහත් වූ හාස්කම්වලින් ‍යුක්ත වූ අය ලෙස සැලකෙන අතර සැර පරුෂ අය ලෙස ද ප්‍රචලිතය.. මෙනිසාවෙන්ම දෙවොල් දේවාල පලිගැනීම් සඳහාම ප්‍රසිද්දව ඇති බවක් බැලූ බැල්මට පෙනී යයි. 

සුප්‍රසිද්ධම දෙවොල් දේවාලය දකුණුලක සීනිගම පිහිටා ඇති අතර ( සීනිගම දේවාලය ) උණවටුන , රූමස්සල , වේරගොඩ , අමනාවල හා ගලබඩ ආදි ප්‍රදේශ වල ද දෙවොල් දේවාල පිහිටා ඇත. වේරගොඩ නම් තැන සිට සිය සැරයටිය පිහිටුවා එය ගසක් වශයෙන් වැවීමට සැලැස්වූ දෙවොල් දෙවියන් ඒ ගමින්ම සහකාරියක් ලබා ගත් බව ද පැවසේ.

සීනිගම දේවපුරාණයේ සඳහන් පරිදි දෙවොල් දෙවිවරුන් සත්තැනකින් නෙරපුණු බව කිව හැකිය. සමණොළ දී සුමන සමන් දෙවියන් විසින් ද යාපා පටුනේ දී නාථ දෙවියන් විසින් ද කතරගම දී කඳ කුමරුන් විසින් ද දෙවුන්දර දී ව්ෂ්ණු දෙවියන් විසින් ද ඉරුගල් දේවාලයේ දී ඉරුගල් බණ්ඩාරයන් විසින් ද ගින්තොට දීත් උඩුගල්පිටියේ දීත් මහාබ්‍රහ්මයා විසින්ද නෙරපුණු දෙවොල් දෙවියන් අවසන දී සීනිගමට පැමිණ පත්තිනියට සිය අනුහස් පෙන්වා වේරගොඩ හොරවල දේවාලවල සිය ලකුණු පිහිටුවා නැවත සීනිගමට පැමිණ  දේවාල එකොළහකට දිවැස් ලා බැල්ම හෙළා වැඩ වෙසෙන බව කියවේ.

ගම්මුන් දෙවියන්ගේ ලෙඩ ලෙසින් හදුන්වනු ලබන පැපොල , සරම්ප , කම්මුල්ගාය ආදී බෝවන රෝගවලින් මිදීම සඳහා දේව ආශිර්වාදය පිණිසත් අස්වනු සරුසාර කරගැනීමත් සැපසම්පත් උදාකර ගැනීමත් සහ අපල උපද්‍රවයන්ගෙන් මිදෙනු පිණිසත් දෙවොල් දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව පතා පුදපූජා කිරීම සිදු කරයි.

ඔබ සැමට දෙවොල් දෙවියන්ගේ පිහිට ආර්ක්ෂාව ලැබේවා!

සටහන – උමේෂ් මේනුක

ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!

තෙරුවන් සරණයි!

මාධ්‍ය අංශය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.

කඩුවෙල.

 

 

Umesh
Content Writer

Leave a comment