Skip to content Skip to sidebar Skip to footer

සෙනෙවිරත්න මුල් කඩවර දෙවියන්

කතරගම දෙවියන්ගේ අණසක ක්‍රියාත්මක කරමින් දකුණු වාසල මුර කරන ශ්‍රී ලාංකීය දේවාත්මයක් ලෙස කඩවර දෙවියන් හැදින්වෙන අතර විටෙක දෙවියෙකු ලෙසත් විටෙක යක්ෂයෙකු ලෙසත් පෙනී සිටිමින් මෙරට සකල වාරි කර්මාන්තයට හා කෘෂිකාර්මික කටයුතු වලට අධිගෘහිතව ක්‍රියා කරයි.

කඩවර දෙවියන්ගේ උප්පත්ති කතාව පිළිබඳ සාකච්ඡා කිරීමේදී ජනප්‍රවාද වල දැක්වෙන්නේ මෙම දෙවියන් කලාවැව ආරක්ෂා කරමින් සිට එය ව්‍යර්ථ වීමෙන් කලාවැවට පැන සියදිවි නසා ගැනීමෙන් අනතුරුව දේවත්වයට පත් වූ බවයි.

” අයියො මගෙ වැව බිඳුණට දෙයියො වත් නැද්ද මෙරට
හයියෙන් හඬ තළා එවිට පැන නැසුණයි එනඩ වලට
කඩවල පැන ලා නැසුණම කඩවර නම යෙදුණි ඔබට
තෙද ඇති දෙවියෙක් මෙලොවට ඇත්තේ දැන් මුළු දෙරණට  “

කඩවර උපත පිළිබඳව වැඩි දුරටත් අධ්‍යනයේදී පසක් වන්නේ මොහු සෙනෙවිරත්න පදවිය ලද අයෙක් බවත් සිය දිවියේ වැඩි කොටසක් වාරි කර්මාන්තය සඳහාම කැප කල අයෙක් ලෙසත්‍ ය. පසුකාලීනව සිය බිරිඳ සමඟ වූ අමනාපයකින් අනතුරුව වනයේ කල් ගෙවූ මොහු කැලයේ සතාසිවුපාවා සමඟ ඉතා කුළුපග සබඳතාවක් පැවැත්වූ බව කියැවේ. වනචාරී ජීවිතයක් ගතකල මොහු ගස්වල කොළ , ගෙඩි , පොතු ආදිය ආහාරයට ගනිමින් සතුන් දඩයමට එන දඩයක්කරුවන් පන්නා දමමින් හා දඩයක්කරුවන් පිළිබඳ ඉව දැනුනු පසු සතුන් එම දිශාවෙන් පන්නා දමමින් කල් ගෙවීය. මේ නිසා දඩයක්කරුවන්ට දඩයම් නැති වූවෙන් ඒ පිළිබඳව රජුට සැල කරන්නට විය. අනතුරුව මොහු අල්ලා ගැනීමට රාජ පුරුෂයන් එවන ලදී. වනය පීරමින් මෙම අද්භූත පුද්ගලයා සෙවූ රාජ පුරුෂයන්ට අවසානයේ සුවිසල් කලවැලක් අසල සිටි සෙනෙවිරත්න නම් මොහු සොයාගන්නට විය. රජතුමා මෙම වනචාරි පුද්ගලයා අල්ලා ගත් නමුත් දිගු කලක් වනගතව සිටි මොහුට කතා කිරීමට නොහැකි බව වැටහිණ.

ධාතුසේන රජතුමන් මොහුව ප්‍රකෘති තත්ත්වයට පත්කරලීමට ක්‍රමයක් සෙවූ අතර එසේ කලහැකි අයෙක් වේ නම් රජවාසලට පැමිණෙන ලෙස අණබෙර යැවීය. මෙම පුවත ගැන ඇසූ සෙනෙවිරත්නගේ බිරිඳ මේ නම් තම ස්වාමියා විය යුතු යැයි සිතා රජවාසලට ගොස් බැලූ විට වනසතෙක් මෙන් සිටි තම ස්වාමියා හදුනාගත් අතර ඔහු ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම සඳහා උත්සුක විය. ඒ සඳහා ලිප් ගල් දෙකක් තබා බතක් පිළියෙල කරන්නාක් මෙන් උපක්‍රමයක් යොදා කීපවරක්ම ලිප් ගල් දෙකක් මත බත් හැලිය තබා එය පෙරලාගැනීමෙන් තම සැමියාගේ අවධානය ඒ වෙත යොමු කරගන්නට විය. කිහිපවරක්ම එසේ බත් හැලිය පෙරලාගන්නවා දුටු ඔහු කෑ මොර දුන්නේ ” තවත් ළිප් ගලක් තියපන් ගෑනියේ ” යනුවෙනි. අවසන කෙසේ හෝ බිරිදගේ උපක්‍රමයෙන් කතා කිරීමට හැකි වූ සෙනෙවිරත්න පිළිබඳ සියලු තතු දැනගත් රජතුමා සතුටුව තෑගිබෝග ආදියද දී මොහු වාරි තාක්ෂණයේ දක්ෂයෙකු බැව් දැක කෘෂිකර්මාන්තය සඳහා ජලය අත්‍යාවශ්‍ය වූ පෙදෙසක් වැවක් තනා දෙන ලෙසට බාර කළේය.

ඉනික්බිතිව සෙනෙවිරත්නයන් විසින් තමා වනචාරීව සිටි සමයේ සිටි විශාල කලවැල අසළින් ගිය ජල පහර යොදා ගනිමින් වැවක් තැනුවේ ය. කලවැල පිහිටි තැන වැව සෑදූ නිසා ධාතුසේන රජතුමන් විසින් මෙය කලාවැව ලෙසින් නම් කරන ලද අතර මෙසේ ධාතුසේන රජතුමාගේ අණින් නිමකරන ලද මෙම වැව සෑදීමෙන් අනතුරුව තම බිරිඳ සමඟ සෙනෙවිරත්න ඉතා සතුටින් වාරි කටයුතුත් කෘෂිකාර්මික කටයුතුත් කරමින් ජීවත් වන්නට විය.

කල් ගතවත්ම කලා වැව් බැම්මේ ඇති වූ ගැටළුවක් ගැන තතු සැල වූ වහාම මොහු ඒ දෙසට දිව යන අතර ඒ වන විටත් වැව් බැම්ම කැඩී ජලය ගලා යමිත් තිබෙනු දක්නට විය. ඉන් ශෝකයට පත් වූ සෙනෙවිරත්නයන් එම ගලා යන ජල කඳට පැන සියදිවි හානි කරගන්නට විය. මෙම සිදුවීම ආරංචි වූ ධාතුසේන රජතුමා මහත් කම්පාවට පත් විය.

කඩවලට පැන මියගිය මොහු මෙතැන් පටන් කඩවර නමින් දේවත්වයට පත් වූ බව ජනප්‍රවාද කතා වලින් කියැවෙන අතර ධාතුසේන රජතුමා විසින් කඩවර දෙවියන් වෙනුවෙන් මෙම ස්ථානයේ දෙවොලක් තැනූ බවත් රජතුමා හා රටවැසියන් විසින් කඩවර දෙවියන් වෙනුවෙන් මෙම ස්ථානයේ පුදපූජා පැවැත්වූ බවත් කියැවේ.

කඩවර දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව තවත් ජනප්‍රවාද කතා පැවතියත් මෙම කලා වැවේ කතා පුවත මහත් ප්‍රබලතාවක් දක්වයි. එසේම කොහොඹායක් ශාන්තිකර්මයේ පුද ලබන කඩවර දේව තුන් දොළොස් කට්ටුවක් පිළිබඳව ද කියැවේ. එසේම කඩවර දෙවියන් යනු සත් දේවතාවුන්ගෙන් අයෙකු බව ද ජනවහරේ පවතින්නකි.

මෙසේ මුළු ලංකාද්වීපය පුරා අදවනවිට මහත් භක්තියෙන් වැඳුම් පිඳුම් ලබන කඩවර දේවතාවන් වහන්සේ ජනී ජනයාගේ විපත් වලට පිහිට සලසන ප්‍රබල දෙවි කෙනෙකු ලෙස සළකන අතර රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී මැණික් ගඟෙන් ජලස්නානය කොට කතරගම දෙවියන් බැහැදකින උන්වහන්සේ පරිවාර පිරිස් සමඟින් ශ්‍රී ලංකාද්වීපය පුරා සැරි සරමින් ජනතාවට සෙත සළසන බව ජන විශ්වාසය යි.

කඩවර දේව කන්නලව්ව

කුඩා කතරගමට, මහා කතරගමට, සෙල්ල කතරගමට වැඩහිටි කන්දට ,කුළුහරක් ගාලට, සුදුහරක් ගාලට, මැණික් ගංගාවට, රුහුණු මාගම් පත්තුවට, මැණික් ගංගාවට, කිරිවෙහෙරට අරක් ගත්තාවූ ශ්‍රීමත් ස්කන්ධ කුමාර දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේත් වල්ලිඅම්මා දේව මාතාවගේත් සෙනෙහස දිනා ගත්තාවූ අපමණ බලය අපමහ තේජස, අපමණ ශක්තිය තිබෙන්නාවූත්, සෙනවිරත්න මහා කඩවර දේවතාවුන් වහන්ස ලොව පාලනය කරන්නාවූ ආතාල බහිරව දේවතාවුන් වහන්සේගෙන්ද, පාතාල බහිරව දේවතාවුන් වහන්සේගෙන්ද, පොළොව මහී කාන්තාවුන් වහන්සේගෙන්ද, වරම් ගන්නාවූ ඔබ වහන්සේ කතරගම දෙවිඳුන්ගේ ප්‍රධාන වරම් ලබා කතරගම මහා දේවාල භූමියට ප්‍රවිෂ්ට වන්නාවූ දක්‍ෂිණ වාහල්කඩ දොරටුවේ මහා තොරණට අරක්ගන්නා බැව් සත්‍යවාදිය සැබෑය.
මගේ ස්වාමීනි, තෙදවරම්, බලවරම්, දඩවරම්, ඖෂධ වරම්, දිෂ්ටි වරම් ආදී වරම් මාලාවන් දෙන්නාවූ ඔබ වහන්සේට ඇටැටි පස්වර්ගයෙන්ද, පුළුටු පස් වර්ගයෙන්ද, රඹාදි පලතුරු පූජාවෙන්ද, මහත්වූ ගෞරව පවත්වා ඉල්ලා සිටින්නාවූ දිව්‍ය කන් ආභරණයෙන් අසා දිව්‍ය නේත්‍රාවෙන් බලා ගැත්තාට තිබෙන්නාවූ අපල – විපල, හදි-හූනියම් , ඉරි පැන්නුම්, වැල් පැන්නුම්, ඇස්වහ-කටවහ, අඬොල්වැඩියා, සතුරු උපද්‍රව සියල්ල දූරින් භූත කොට යහ ජීවිතයක් ලබාදෙන සේක්වා කඩවර දෙවියනේ.

ඔබ සැමට උතුම් කඩවර දෙවි පිහිටයි!

තෙරුවන් සරණයි!

සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි!

✍️ උමේෂ් මේනුක
මාධ්‍ය අංශය,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.
කඩුවෙල

Umesh
Content Writer

Leave a comment