කළු කම්බිලි දෙවියන් තුරඟ වාහනාරූඪව කඩුවක් සහ යගදාවක් අතින් ගෙන කලා ඔයත් දැදුරු ඔයත් අතර වූ පහළොස් පත්තුවට අධිපතිව වැඩ වසන දෙවියකු ලෙස කළු කම්බිලි දෙවියන් සැලකේ. රතු, නිල් සහ සුදු පාටින් යුත් ඇඳුම් කට්ටලයකින් සැරසී සිටින අතර, ඔටුන්න නීල වර්ණ මල්වලින් යුක්ත වේ. ගවයෙකු හා දිවියෙකු මරා ලේ බොන බවද පැවසෙන නිසා ” කළු කම්බිලි යකා ” යනුවෙන්ද කම්බිලි දෙවියන් හදුන්වනු ලැබේ.
ලක් ඉතිහාසයේ අනුරාධපුර රාජධානියේ ආරම්භක රජු වූ පණ්ඩුකාභය රජුගේ ජීවිතය හා බලය සමග බැඳුණු අද්භූතම චරිතය වන්නේ චේතිය නම් යකින්නයි. ජනප්‍රවාදයට අනුව දුම්රක්ගල ප්‍රදේශයේ විසූ ඇය බලවත් යකින්නකි. තවත් මතයකට අනුව පණ්ඩුකාභය රජුගේ කුමාර අවධියේ ඔහුව ආරක්ෂා කළ දාසියක් මරණයෙන් පසු යකින්නක්ව ඉපිද, රජුගේ ආරක්ෂාව පිණිස චේතිය නමින් පැමිණි බවත් කියවේ. පණ්ඩුකාභය රාජ්‍ය සමයේ යක්ෂ ඇදහීම බහුලව පැවති අතර, අනුරාධපුර නගරය නිර්මාණය කිරීමේදී දකුණු දොරටුවේ ‘යකින්න’ වෙනුවෙන් දේවාලයක් පවා ඉදිකොට පුද සත්කාර කළ බව කියැවේ.
වරෙක මහා යුද්ධ ඇති වූ සමයක චේතිය යකින්න වෙළඹකගේ වෙස් ගෙන පණ්ඩුකාභය රජු තම පිට මත තබා ගනිමින් යුද බිමට ගියාය. වෙළඹ වේසයෙන් සිටි යකින්නගේ අනුභාවයෙන් සතුරු සේනාවන් සෑම අවස්ථාවකදීම රජුට පරාජය විය. පහත කවිවලින්ද මෙය තහවුරු වේ.
” වෙළඹ වේසක යකිනිගෙ පිට නගිමි න
නිලඹ රුවින් රජ යුදයට ගිය තැ න
එළඹ ගිය වු යකිනිගෙ ආධාරෙ න
කළඹ දකින හැම යුධයෙන් ජය ගෙ න “

මේ ආකාරයෙන් පණ්ඩුකාභය රජුට යක් බිරියගේ සහය සෑම විටම හිමි විය.
කාලයාගේ ඇවෑමෙන් චේතිය යකින්න පණ්ඩුකාභය රජුට දාව දරුවන් තිදෙනෙකු බිහි කළාය. මොවුන් ” කම්බිලි තුන් කට්ටුව ” ලෙස ඉතිහාසයේ සඳහන් වේ.
කුමරුන් ගත පිළී
මධ කළු පාට බැබ ලී
සැඩ පළු හිස වෙ ලී
දෙවැනි කුමරා එසැඩ කම් බිලී
තුන්වැන්නා රක්ත වර්ණ කම්බිලියක් පොරවන අතර රතු ඇඳුම් කට්ටලයකින් සැරසී සිටී. කතරගම දෙවියන්ගේ රන් තොරණ මුරකරුය. කලා ඔය සිට කාරදූව දක්වා ඔහුගේ අණසක පවතී. වීර වික්‍රම රත්න බණ්ඩාර, මල්බලිගල දෙවි, රත්න කඩවර දෙවි යන නම්වලින්ද හැඳින්වේ. ලෙඩ දුක්, වසංගත රෝග, උමතු රෝග සුව කිරීමේ බලයක් ඇතැයි විශ්වාස කරයි. ඔහු කිරි මුහුදින් හා කළුනික පඳුරෙන් උපන් බවටද කතාවක් ඇත.
දුම්රක්ගල යක් සෙනි මවුසෙන් දිලි
දිඹුලාගල වැඩිමල් කළුකම්බි ලි
කසාගලය දෙවැනි වූ සැඩ කම් බි ලි
ලේවාකඩ අධිපති රත්න කම් බි ලි
මේ යක් පුතුන් තිදෙනාද පියාට සෑම යුද්ධයකදීම සහාය වූ බව කියැවේ.
කළු කම්බිලි දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව ජනප්‍රවාද කිහිපයක්ම පවතී.
මලය දේශයේ සිට කළුතර වෙරළින් මෙරටට පැමිණි පස් දේවතාවුන්ගෙන් එක් අයෙක් ලෙස හැදින්වෙන අතර වීරවිකුම් රත්න බණ්ඩාර, කම්බිලි කුමාර යන නම්වලින්ද හඳුන්වයි. ගල් නැවකින් මෙලකට පැමිණ සෙල්ලම්දූව පසුකර අනුරාධපුරයට විත් ශ්‍රී මහා බෝධිය අසල ජයභූමියේ වැඩ සිටි බව පැවැසේ.
තවත් ජනප්‍රවාදයක් ලෙස කම්බිලි උපත දඹදිව සිදු වූවක් බවත්, සැඩ පරුෂ තැනැත්තෙක් වූ බැවින් එරටින් පිටුවහල් කළ බවත් කියැවේ. මෙරටට ගොඩබසින විට ඔහුව වැළැක්විය නොහැකි බැවින් මෙරට දෙවිවරු පුද පෙත් දීමට පොරොන්දු වූ බව කම්බිලි කවිවල සඳහන් වේ:

එලුවා ගල්යකදාවෙන් මුහුද දෙබෑ කොට
බැලුවා දෙවියෝ දුවගෙන ඇවිදින් පස් සට
එනවා නියමයි රකින්ඩ බැරි තිර සාරෙ ට
දෙනවා නියමයි වා ලක්කම් නුඹෙ නාමෙ ට
කන්ද කුමාර, උපුල්වන් සහ විභීෂණ දෙවිවරුන්ගෙන් වරම් ලැබූ බවද, ‘නාරායන’ නම් දෙවි කෙනෙකු උදව් කළ බවද කියැවේ.
එසේම මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුවේ බොක්කාවල නම් ගමේ කළු කම්බිලි දෙවියන් ජීවමානව විශේෂයෙන් කෙම්මුර දිනවල සැඳෑ සමයේ සැරිසරන බවට ප්‍රසිද්ධ විශ්වාසයක් ඇත. මහනුවර රාජ්‍ය සමයේ බොක්කාවල රාජකීය මුරපළක් විය. එහිදී වෙළෙන්දන්ගෙන් “සුංගම්” නම් බද්ද අය කෙරිණි.
දිනක් දුම්කොළ වෙළෙන්දෙක්ගෙන් මුරකරුවන් සුංගම් ඉල්ලූ විට ඔහු මුදල් වෙනුවට දුම්කොළ දීමට ගියේය. මුරකරුවන් එය ප්‍රතික්ෂේප කර වෙළෙන්දාට පහර දී දුම්කොළ මිටිය උදුරා ගත්හ. මන්ත්‍රකරුවෙක් වූ එම වෙළෙන්දා පසුව දුම්කොළ මිටියක් සහිත පිල්ලියක් මවා මුරපළට යැවීය. පිල්ලිය මුරකරුවන්ට දුම්කොළ මිටියෙන් පහර දීම නිසා ඔවුහු හිස් ලූ ලූ අත පලා ගියහ. එතැන් පටන් මුරකාවල බිඳී ගිය එම ස්ථානය බොක්කාවල නම් විය. එතැන් සිට කම්බිලියක් පොරවාගත් අවතාරයක් එහි පවතින බවත්, ඔහු ‘කළු කම්බිලි’ නම් වූ බවත් කියැවේ.
අයියනායක දෙවියන්ගේ සේවක පිරිවරට රත්න කම්බිලි එකතු වූ බවත්, ඔහුගේ දේවාලය ලේවාකඩ බවත් පැවැසේ. එක් කලෙක ඔහුව වසඟයට ගැනීමට ගිය කඳුබොඩගම මහා වෙදාගේ කොන්ද කඩා, පවුලම මරා දැමූ බවට බියකරු ජනප්‍රවාදයක්ද ඇත.
කම්බිලිවරුන් දෙවිවරුන්ද යක්ෂයින්ද යන්න පැහැදිලිව වෙන් කළ නොහැක. සිංහල දේව පුරාණයේ ඔහුව දේවතාවෙකු ලෙස සලකන අතර, උප්පත්ති කතාව අනුව යක්ෂයෙකු ලෙසත් සැලකිය හැකිය. ‘බෙලිගල දෙවි’, ‘රත්න කඩවර’, ‘කළු කම්බිලි දෙවියන්’ ලෙස අතිශෝක්තියෙන් හා බියමුසු ගෞරවයෙන් ආමන්ත්‍රණය කර ඇත.

සමහර පැරැන්නන් මොවුන් දෙවියන් ලෙස සමාන කොට ඇදහීම් කළ බවත්, අදටත් ‘කම්බිලි දෙවියන්’, ‘කම්බිලි අප්පච්චි’ යන ගරු නාමයන්ගෙන් වන්දනාමාන කරන බවත් සඳහන් වේ. කඩවර, සූනියම් නමැති ශ්‍රී විෂ්ණු, සමන්, කතරගම, ඊශ්වර දෙවියන්ට සේවය කරන මළ යක්ෂයන්ට ‘දේවතාවුන් වහන්සේ’, ‘මතු බුදු වන අප්පච්චි’ යන මිථ්‍යා නාමයන්ගෙන් වැඳුම් පිදුම් කිරීමද දක්නට ලැබේ.
කළු කම්බිලි ඇතුළු කම්බිලි යක්ෂයන්ගෙන් උදව් ලබාගත හැක්කේ තමන්ට වැරදි කරන, සතුරුකම් කරන අයට දඬුවම් ලබාදීම පිණිස පමණි. දෙවියන්ට මෙන් සෙත, ශාන්තිය, දියුණුව, නිරෝගී බව ප්‍රාර්ථනා කිරීම ගඟට කපන ඉනි මෙන් ඵල රහිත දෙයකි.
දෙවියන්ට මෙන් පින් දී ඉල්ලීම් කිරීමෙන් උදව් ලබාගත නොහැක. ඔවුන්ගේ ප්‍රිය පුද පූජාවන් වන රා, අරක්කු, සුරුට්ටු, දිය-ගොඩ මස්, පුලුටු, බැදුම් වර්ග සහිත ගොටු පූජා පුදා ගනුදෙනුවක් ආකාරයෙන් සිදු කළ යුතුය. කළු කම්බිලි දෙවියන්ට විශේෂයෙන් හත් මාළුව සහිත බත් කිරි මුට්ටියක්, කැවුම්, කෙසෙල් ගෙඩි පිදේනි ලෙස දිය යුතුය.
පහන් දල්වන විටද ඉතා ප්‍රවේශම් විය යුතුය. පෙර විසූ පැරැන්නන් මේවා කළේ නිසි අවබෝධයකින් සහ මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ ඉහළ දැනුමකින් යුතුවය. එබැවින් නිසි ආරක්ෂාවන් නොමැතිව මේ ඇදහීම් කටයුතුවල නිරත නොවිය යුතුය.
වර්තමානයේ ප්‍රසිද්ධ කළු කම්බිලි දේවාලයක් ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. එහි හාස්කම් බොහෝ ඇති බව බැතිමතුන්ගේ විශ්වාසයයි. දකුණේ කසාගල ප්‍රදේශයේද සැඩ කම්බිලි වෙනුවෙන් දේවාලයක් ඉදිකොට ඇත. නවගමුව පත්තිනි දේවාලයේ ද කම්බිලි දේවාලයක් පිහිටා ඇත. කම්බිලි දේවතාවන්ට පුද පෙත් දීම විශේෂයෙන් වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේත්, උතුරු මැද පළාතෙත් දක්නට ලැබෙන බව ‘වන්නියේ දෙවි දේවතා සම්භවය හා ව්‍යාප්තිය’ ග්‍රන්ථයේ සඳහන් වේ.
කළු කම්බිලි යනු ලක් ඉතිහාසයේ යක්ෂ, දේව සහ රාජකීය යන සම්ප්‍රදායන් තුනේම සන්ධිස්ථානයක පිහිටි අද්භූත සංකේතයකි. ඔහු පණ්ඩුකාභය යුගයේ රාජ්‍ය බලයේ ආරක්ෂකයෙකු වූ අතර, පසුකාලීනව ජනතාවගේ යුක්තිය, ආරක්ෂාව සහ පළිගැනීම වෙනුවෙන් පෙනී සිටින භූතාත්මයක් බවට පත්ව ඇත.

ඕං නමෝ…. තෙද වරම් .. බල වරම් . පස්වාන් දහසකට ..ඔද ..තෙද බල කිර්ති මහනුබාවසම්පන්න ..කලු කම්බිලි දිව්‍ය රාජොත්තමයානන් වහන්ස ඔබ වහන්සේගේ ගුණ. ආත්මානුබාවයේ බල මහිමයෙන් ශ්‍රී ලංකා දිපයෙහි නම්බුකාර තෙදකාර බලකාර අනුරාධපුරයට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේට ඔලූපැලියාවට , ලේ පැලියාවට , නිකවැරටියට , කල්ලන්චියට , මල්බලිගලට , දිවැස් පාමින් වන්නි බාරව . වැඩ වෙසෙමින් පලුගොල්ල දේවාලයේ කෙලි පුද ගන්න වරම් ගත් කලු කම්බිලි , සැඩ කම්බිලි , රත්න කම්බිලි , යන දිව්‍ය රාජොත්මයානන් වහන්සේලාටත් ආදනා කොටගෙන කඩවර යන යක්ෂ සේනාධිපතීන් සමඟ දිවැස් බලමින් තෙල් මල් පහන් රත් මල් සුවද දුම් පුලුටු , ආදියෙන් පුජාකොට කියා පාන්නාවු කන්නලව්ව… යනුවෙන් මෙසේ දෙවියන්ට ආරාධනා කොට පුදපූජා පැවැත්වීම මඟින් දේවාරක්ෂාව උදාකරගත හැක.
කම්බිලි දෙවි පිහිටයි!
තෙරුවන් සරණයි!
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි!
✍️ උමේෂ් මේනුක
මාධ්‍ය අංශය,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.
කඩුවෙල
