සත්කෝරළය ඇතුළු වන්නි ප්‍රදේශයේ ජනතාවගේ ගෞරව භක්ත්‍යාදරයට පාත්‍රව ඇති අයියනායක දෙවියන් අයියනාර් , අයියනාරේ , හරිහර පුත්‍ර , කයිය නාර් හා මහා ශ්‍රාස්තෘ ආදි වූ නම්වලින් ද හදුන්වනු ලබයි. ” වන්නි උපතේ ” සඳහන් වන පරිදි අයියනායක දෙවියන් ගම්පළ රාජධානි සමයේ සිව්වන බුවනෙකබා රජුගේ කාලයේ දී ආර්‍ය්යන් සමඟ මේ ලක්බිමට පැමිණි අයෙක් බව සඳහන් වේ. වැව්බැඳි රාජ්‍යයේ සිය ආධිපත්‍යය පතුරවා සිටින අයියනායක දෙවියන් උතුරුමැද , වව්නියාව , මන්නාරම හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ද විශේෂ ගරුබුහුමනට ලක් වේ. කෝට්ටේ යුගයේ දී මේ දෙවියන් වෙනුවෙන් මන්නාරමෙන් එපිට මාවටුපටුනේ දෙවොලක් ඉදිව තිබූ බවට කෝකිල සංදේශය සාක්ෂි සපයයි.
“නයියන් යනැල් ගෙවි සරනා ගොයම් වෙල
කොයියන් නෙදැයි නුඹ දැක යෙති මඟ අසල
අයියන් කෝවිලට වැද නොව කල විකල
වයියන් නැමද දෙයියන් සිරි පා කමල “
අයියනායක දෙවියන් පිළිබදව කියවෙන පුරාවෘත රාශියකි. අත්ල මතට මන්ත්‍රයක් මතුරා කිසිවකුගේ හිස තැබූ සැනින් එය අළු කිරීමට සමත් මන්ත්‍රයක් ඊශ්වරගෙන් උගෙන ශිව හෙවත් ඊශ්වරයාම විනාශ කිරීමේ අරමුණින් හඹා ගිය බ්‍රහ්මාසුරයාගෙන් ඔහු මුදා ගනු පිණිස ස්ත්‍රී වෙස් ගත් විෂ්ණු දෙවියන් කුමරුන් සත් දෙනෙක් මවන ලද බව සඳහන් ය. උමයංගනාව එහි පැමිණ ඒ කුමරුන් සත් දෙනා එකට බඳාගත් කල එයින් ඇගේ අත් දෙකට අසුවූයේ කුමරුවන් සය දෙනෙකු පමණි. එක් අයෙක් අත්ලෙන් ගිලිහුණු අතර ඒ මිටියට අසුනොවූ තැනැත්තා අයියනායක යනුවෙන් ප්‍රසිද්ධ විනැයි එක් ජනප්‍රවාදයකි.
“අයියනායක දෙවි කවි”නම් වූ කාව්‍ය පන්තියේ සඳහන් ආකාරයට මොහු උපුල්වන් දෙවිඳුන්ගේ බලයෙන් සිය මවගේ දකුණු ළය පළා ගෙන උපන්නෙකි. ඉන් පසු දේව සභාව විසින් පිළිගන්නා ලද අතර බුදු රඳුන් මල්ල උයනට වැඩම කළ අවස්ථාවේ දී ලොව රැකීම පිණිස උන්වහන්සේගෙන් අනුමැතියක් ලබා ගත් බවද ජනප්‍රවාදයේ කියවේ. අනතුරුව මධුරාපුරයෙන් පිටත්ව සිංහලේට ගල් නැවකින් පැමිණ යාපනයට ගොඩ බැස කළුතර දක්වා ඇතු පිටින් ගමන් කල බව ද සඳහන් ය. එසේම අයියනායක දෙවියන් මුලින්ම වීරක්කුළියේ දෙවොලක් කරවා වැඩ විසූ බව ද කියවේ.
ඉලන්දාරී දේවතා , කළු දේවතා , කඩවර දෙවි , කම්බිලි දේවතා , ගුරුමා දේවතා යන දෙවිවරු පස්දෙනෙක් අයියනායක දෙවියන්ගේ පරිවාර දෙවිවරු ලෙස සැළකෙන අතර ඉන් ඉලන්දාරී දේවතාවාත් , කම්බිලි හා කඩවර දේවතාවත් අයියනායක දෙවියන්ගේ සේවකයෝ ලෙස සළකති. අයියනායක දෙවියන් වෙනුවෙන් කෙරෙන පුදපූජා පිළිබද විස්තරයක් ” බැද්දෙන් ගමට ” නම් ග්‍රන්ථයේ සඳහන් වේ. ඇතැමෙක් මොහු ගණදෙවිඳුන් ලෙසත් ගණදෙවිඳුන්ගේ සහෝදරයා ලෙසත් හදුන්වා දෙති. කලු දේවතා බණ්ඩාර , කළු කම්බිලි දේවතාවුන් අයියනායක දෙවියන් යටතේ වැඩ වෙසෙන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. මහසෙන් රජතුමා යක්කුන්ගෙන් වැඩ ගන්නා අවස්ථා වලදී යක් ප්‍රධානියා ලෙස සිටියේ අයියනා කුමරුන් බව හා ඔහු පිහිටි රටේ ගම් හා කිරිපට්ටි රාශියක් භාරව කටයුතු කල බවද මින්නේරි ජනයා අතර එන තවත් ජනප්‍රවාදයකින් කියවේ.
අයියනායක දෙවියන් වෙනුවෙන් අනුරාධපුර , ත්‍රිකුණාමලය , මින්නේරිය , නිකවැරටිය , එප්පාවල , රුප්පාවල , යාපනය , මුන්නේශ්වරම් , පුත්තලම , වව්නියාව හා වීරකැටිය ආදි ප්‍රදේශ වල දෙවොල් ඉදිව පවතී. වන්නියේ ජනයා විවිධ කාර්‍යයන් සඳහා පිටත්ව යාමේදී කොළ අත්තක් කඩා එල්ලීම සිරිතක් කොට දක්වයි. විශේෂයෙන්ම තම අවශ්‍යතා වෙනුවෙන් කැලයට යාමේදි මෙම කොළ අතු එල්ලා අයියනායක දෙවියන්ගේ පිහිට පැතීමට ගම්මුන් හුරුව සිටිති. එසේ සිදු නොකොට කැලෑවට ගමන් ගන්නා ගම්මුන් හට විවිධ කරදර වලට මුහුණ පෑමට සිදුවන අතර කැලෑව තුළ දී ඔවුන් මංමුළා කරන බවද ජන විශ්වාසයයි.
නුවර කලාවියේ බණ්ඩාර දෙවිවරු හැටහත් කට්ටුවක් ගැන සඳහන් අතර ඉන් අයියනායක දෙවියන් ප්‍රධාන වේ. කාල වර්ණයෙන් යුතු අයියනායක දෙවියන් රන් පැහැ වස්ත්‍රයෙන් සැරසී ජටාවක් හිස පැලඳ සිටින අතර සුරතෙහි කඩුවක් හා වමතෙහි යෂ්ටියක් ද දරා සිටී. ගැමියන් තම ගොවිතැනේදී සහ ගවයන්ට වැළදෙන ගව රෝගවලදී ද අයියනායක දෙවියන්ගේ පිහිටාරක්ෂාව පතයි. මෙලෙස වන්නි හත් පත්තුවේ ජනයාට අයියනායක දෙවියන් තරම් දෙවියෙකු නොමැති තරමටම ජනතාව තුළ මෙම දෙවියන් ගෞරවාදරයට පුද පූජාවන්ට පාත්‍රව සිටී. අයියනායක දෙවියන් වෙනුවෙන් සිදු කරනු ලබන පුද පූජාකර්ම වලදී හා යාතිකා ගායනාවලදී උඩැක්කියක් භාවිතා කිරීම ද අතීතයේ සිට පැවත එන චාරිත්‍රයකි.
මෙසේ වන්නි හත් පත්තුව පුරාවට සිය අණසක පතුරවා වැඩ වසන අයියනායක දෙවියන්ගේ ඇල්ම බැල්ම ආරක්ෂාව නිබඳවම ඔබ අප සැමට ලැබේවායි පතමි.
සටහන – උමේෂ් මේනුක
ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!
තෙරුවන් සරණයි!
මාධ්‍ය අංශය,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.
කඩුවෙල