Skip to content Skip to sidebar Skip to footer

දැඩිමුණ්ඩ දෙවියන්

ඉතාමත් දැඩි සිතක් , මුඩු වූ හිසක් ඇති හෙයින් මෙම දෙවියන් දැඩිමුණ්ඩ යනුවෙන් හදුන්වන බව කිය වේ. ලක්දිව ශ්‍රී සම්බුද්ධ ශාසනයට යම් විපතක් සිදුවන සෑම මොහොතකම විවිධ ස්වරූපයෙන් පෙනී සිට රටත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන දැඩි දෙවි කෙනෙකු වශයෙන් දැඩිමුණ්ඩ දෙවියන් හැදින්වේ. අලුත්නුවර දේවතා බණ්ඩාර , සඳුන් කුමාර , මැණික් බණ්ඩාර ආදී නම් වලින් ප්‍රකට යක්ෂ , නාග ගෝත්‍රික සම්මිශ්‍රණයෙන් රාවණා රාජ සමයේ බිහි වූ ද්විවංශිකයෙක් ( දේවවංශික ) ලෙස දැඩිමුණ්ඩ දෙවියන් හදුන්වා දිය හැකිය. යක්ෂ ගෝත්‍රිකයන්ගේ අධිපති වෙසමුණි දෙවියන්ගේ පුත්‍රයා වූ පූර්ණක නම් යක්ෂ සේනාධිපතිට දාව එරන්දතී නම් නාග ගෝත්‍රික කන්‍යාවියගේ කුසින් තලගිරිකන්දේදී මොහුගේ උපත සිදු වූ බව ඉතිහාසයේ කිය වේ. ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයන් වහන්සේගේ අධිකාරම් ධූරයත් කතරගම දෙවියන්ගේ වාහල තනතුරත් දරන බවට දැඩිමුණ්ඩ දෙවියන් පතල ය.

 

බුදුන් තනි කරලා

දෙවියන් ගියයි ඇරලා

දැඩි දෙවියෙක් සිටලා

යුධ කරමි සැල කළේ වැඳලා

 

අවියක් නොගෙන තට

රුවන් සොළුව රැගෙන සුරතට

බැට දී දෙපළු කොට

යුධ කරමි සැළකලේ මුනිඳුට

සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දින ඇසතු බෝ රුක මුල දී කෙලෙසුන් නසා ලොව්තුරා බුද්ධත්වය ලබන මොහොතේ දී වසවර්තී මාරයා වරක් ප්‍රමුඛ දස බිම්බර මාර සේනාවන් බියකරු වෙස් ගෙන අවි අමෝරා රැස් වූ අවස්ථාවේ එහි සිටි දේව සමූහයා බියෙන් පලාගිය අතර මෙබව දුටු කුවේරයන් ( වෙසමුණි ) තම මුණුබුරන් වූ දැඩිමුණ්ඩයන් කැඳවා බුදුන් වහන්සේ ආරක්ෂා කරන ලෙස දන්වන ලදී. තනිවම හෝ සටන් කර බෝසතාණන් වහන්සේ රකිමි’යි සිතා නොබියව රන් දුන්නක් ගෙන සුදු වතින් සැරසී මාර සේනාව සමඟ යුධ වැද මහාමේරූ පර්වත මුදුනේ ඇති වසවර්තී මාර විමානය ද විනාශ කර දැමූ බව ට ගල කැප්පූ සැහැල්ලෙහි එන පද්‍ය සාක්ෂි දරයි.

දොළහ දෙවිවරුන් අතර සිටින ඉතා බලවත් දෙවිකෙනෙකු වන දැඩිමුණ්ඩ දෙවියන් නීතිය හා සම්මතය කඩ කරන සතුන් හට දඬුවම් දීමත් , යක්ෂ සේනාව පාලනය කිරීමත් සිදු කරයි. එබැවින් සෙනෙවිරත්ත අධිකාරම් ලෙසින් ද හදුන්වනු ලබයි. වරෙක උපුල්වන් දෙවියන්ගේ අමාත්‍යවරයා ලෙසත් සැලකේ. මහනුවර , ඇම්බැක්ක , කළුගමුව , වල්ලභගොඩ ආදි ස්ථාන වල දේවතා බණ්ඩාර හෙවත් දැඩිමුණ්ඩ දේවාල පිහිටා ඇත. රුහුණු කතරගම කිරිවෙහෙර ඉදිරිපිට ද දේවතා බණ්ඩාර දෙවොලකි.

අප මහා බෝසතාණන් වහන්සේ දස බිම්බරක් මරසෙන් පරදා ලොව්තුරා බුදු බව පසක් කරගත් තැනේ දී බුදුන් වහන්සේට නමස්කාර කර වරම් ඉල්ලූ කල වසර පන්දහසක් ලක්දිව බුදු සසුන සුරකින ලෙස වරම් දුන්නෙන් විෂ්ණු , වෙසමුණි , ශක්‍ර ආදී වූ මහා දෙවිවරුන්ගෙන් වරම් ගෙන මහා සාගරය තරණය කොට ලක්දිව දෙවුන්දරට ගොඩ බසින ලදී. ඉන් පසුව උඩරට සතර කෝරළයේ එනම් වර්තමාන අලුත්නුවර කිරුන්ගන්දෙණියේ ගල් ගුහාවට දෙවියෝ වැඩම කල බව කියවේ.

වර්තමාන අලුත්නුවර දේවාලය ඇති තැන දේවාලය කරවා දෙවියන් එහි වැඩම කරවන ලද්දේ මින් අනතුරුව ය. අලුත්නුවර දේවාලය ඉදිරියේ තිබුණු විශාල ගල් පර්වතය යක්ෂයන්ගේ සහයෝගයෙන් ඉවත් කලේ දැඩිමුණ්ඩයන් විසින් බව ගල කැපූ සැහැල්ලේ සඳහන් ය. දැඩිමුණ්ඩ දෙවියන් යකුන් ලවා ගල කැප්ප වූ අයුරු හෙළ නර්තන කලාවේ එන ඒකාක්ෂර කවි ගායනාවක ද මෙලෙස දැක්වේ. 

 

වේග වෙලා දහඅට දේශයකින් බලයකු ගෙන්නුවේ

වේ රෑනෙන් ගල කප්පා වැඩ සිට යකුහට බලපෑවේ

වේවැල සුරතින් සෝඩු දරාගෙන බණ්ඩර බව ලැබුවේ

වේය නෑර ජය අලුත් නුවර දෙව් වරමින් අපි ආවේ

දේවතා බණ්ඩාරයන් හට යක්ෂයින්ගෙන් පහසුවෙන් වැඩ ගැනීමට හැකි වූයේ තම පිය පාර්ශ්වය යක්ෂයින් වීම නිසාවෙන් බව සිතීම වරදක් නැත. කාලි , කන්නඩිරානාද , ගොපලුපිල්ලි , ගිනිජල් , ලවුදි , ගිනිබ්‍රාඩ් , මල්ලව , භාග , දෙවොල් , වඩුග , ඔමරි , මංගු යනාදි නම් වලින් දැඩිමුණ්ඩ දෙවියන්ගේ සේවක පිරිස් සිටි බව සිංහල දේව පුරාණයෙහි දැක්වේ. යක්ෂ සමූහයාට කැවිලි පෙවිලි දී ඔවුන් සතුටු කරවා ගල් පර්වතය බිඳ හෙළන ලෙසට අණකොට එක් රැයක් තුළ ගල බිඳහෙළූ බව හා අලුත්නුවර දේවාලය ඉදිකිරීමට යකුන්ගෙන් වැඩගත් බව පහතරට ශාන්තිකර්මවල එන කෝල්මුර කවි වල ද මෙසේ දැක්වේ.

” බත්ගල ගව්ඩිය මල්ල රටේ යක්

පොන්නඩි ජාවක මල්ල රටේ යක්

කණ්ණඩි කාවෙරි කවුඩි රටේ යක්

සිංහල දේසේට ගෙන්වා හැම යක්

 

වඩා කැවුම් සහ කිරිබත් කැටි කොට

කුඩා නොකරවව් එක දෙක දෙන්නට

විඩාව හැර පුද කරන්න යකු හට

කඩා දමව් ගල අද රෑ සුන් කොට “

 

විසිදාගම , නවගමුව , කොස්ගම , සබරගමුව , සීනිගම , උග්ගල් අලුත්නුවර , දඹදෙණියේ රාජගිරි ලෙන , හුන්නස්ගිරිය හා උඩුකිඳ යනාදි තැන්වල දැඩිමුණ්ඩ දෙවියන් විසූ බව දැඩිමුණ්ඩ දෙවි කන්නලව්වට අනුව පැහැදිලි ය. එසේම දේවතා බණ්ඩාර කවි , අලුත්නුවර කවි , දේවතා වරම , ගලකැපූ සැහැල්ල , දේවතාපරල , තිස්පැයේ කීම , හූනියන් යකුන් කෙළි , මල් යහන් කවි යනාදි කාව්‍යමය ග්‍රන්ථ වලින් ද දැඩිමුණ්ඩ  දෙවියන් පිළිබද තොරතුරු ලබා ගත හැක.

 

විභීෂණ , සමන් , උපුල්වන් දෙවිවරු මෙන් දැඩිමුණ්ඩ දෙවියන් ද ස්වදේශීය දෙවි කෙනෙකු ලෙස බැතිමත්තු විශ්වාස කරති. ප්‍රධාන වශයෙන්ම සතර කෝරළයට අරක්ගෙන සිටින දැඩිමුණ්ඩ දෙවියන් මහේශාක්‍ය දෙවිකෙනෙකු වශයෙන් සැලකේ. බොක්සැල් , වීරභද්‍ර හා සුදු මල් යනුවෙන් ද හදුන්වන දැඩිමුණ්ඩ දෙවියන් නිල්වන් වේවැලක් අතින් ගෙන සම්බුද්ධ ශාසනය රැක ගැනීමෙහිලා විවිධ ස්වරූපයෙන් මෙලොව පහලවන බව කිව යුතුමය. දුකට පිහිට වන පිං ඇති දැඩිමුණ්ඩ දේවරාජෝත්තමයන් වහන්සේ වෙනුවෙන් ගැයෙන දේව කන්නලව්ව මෙසේය. 

” පස්වාන් දහසකට ශ්‍රී ලංකාද්වීපයට වැඩ අසුර බල බිඳ ජය ඝෝෂා පතුරුවා බල පරාක්‍රමයෙන් අලුත්නුවර හිම මාලිගාවෙහි යහතින් වැඩ වාසය කරන්නා වූ පූර්ණක නම් යක්ෂ සේනාධිපතීන්ට දාව එරන්දතී නම් නාග මාතාවන් කුසින් ඉපිද දෙවුන්දර උග්ගල් අලුත් නුවරට වැඩ උක් හේනක් දැක ගල් වෙන්ට වරන් දී උග්ගල් අලුත් නුවර යන නමකින් ප්‍රසිද්ධ කරවා වඩුග දේශයෙන් වඩුග යක්ෂයින් ගෙන්වා මාවේ රැහැනකින් ගල කප්පවා උඩ මළුව , පල්ලේ මළුව , උඩ වීදිය , පල්ලේ වීදිය , දික් වීදිය , කොට වීදිය යන නම් තබ්බවා සඳුන් කුමාර , මැණික් බණ්ඩාර , කීර්ති බණ්ඩාර , ඌවේ බණ්ඩාර ‍යන නම්වලින් ප්‍රකටව ලක්දිව පුරා වික්‍රම ප්‍රතාප දක්වා විසිදාගම ගලේ පහළව නවගමුවට , කොස්ගමට , සපරගමුවට , හුන්නස්ගිරියට , උඩුකිඳට අරක් ගත්තා වූ යකුන්ට යක්ෂණියන්ට අධිපති වූ දැඩිමුණ්ඩ දිව්‍ය ‍රාජෝත්තමයාණන් වහන්ස “

ඔබ සැමට දැඩිමුණ්ඩ දේව ආරක්ෂාව පිහිට නිබඳවම ලැබේවා!

සටහන – උමේෂ් මේනුක

ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!

තෙරුවන් සරණයි !

මාධ්‍ය අංශය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.

කඩුවෙල.

 

 

Umesh
Content Writer

Leave a comment