Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

දිය කැපීම

Aug 13, 2023 @ 8:00 am - 11:30 pm

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 211 වන දිය කැපීමේ මහා මංගල්‍යය ….

ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 211 වන ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය පසුගිය ඉරුදින(13) පෙරවරුවේ කැළණි නදියේ දි සිදු කෙරිණි.

මෙසේ දිය කැපීමෙ චාරිත්‍රය උදෙසා පෙරහැර පිටත්ව යාමට පෙර විහාරයට ගොස් බුද්ධ පූජාව හා පත්තිනි , විෂ්‍ණු හා රිට්ටා දේවාල වලට ගමන් තේවා සිදු කරයි. හේවිසි

නාද මධ්‍යයේ දේවාභරණ සහිත පෙරහැර දිය කැපීමට දේවාලයෙන් පිට වේ. පසුව සුභ නැකතින් දේවාල භූමියෙ සිටුවන ලද කප සුදු පිරුවටයක ඔතා දේව ආභරණ සහිත පල්ලැක්කිය පිටුපසින් ගමන් කරවයි.

දේවාලයට අයත් තොටුපළින් ඔරුවට ගොඩවන බස්නායක නිළමේතුමන් ඇතුළු පිරිසට අමතරව තවත් ඔරුවක හේවිසි කරුවන් ද ශබ්ද පූජා පවත්වමින් කැළණි නදියේ දිය කැපීමට ගමන් කරයි.

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ දිය රණකෙළි මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය කැළණි නදියේ බුලත්ගම්පත සීමාවේ දී සිදු කෙරෙන අතර ඔරුව තුළ තිර රෙදි වලින් ආවරණය කෙරූ කොටසක් තුළ දී මෙම චාරිත්‍ර ඉටු වෙයි.රන් කඩුවක් ( මේ සඳහා පෙරහැරෙහි වඩම්මවන පත්තිනි දේවියගේ දේවාභරණය යොදා ගනියි) දියට බහා දිය කපා එතැනින් වෙන් වන දිය පහරින් නැවුම් වූ දිය රන් කලයට පුරවා ගනී. දිය කැපීමේ දී දිය බෙදී යන ස්ථානයේ ඒ කැපුම රන් කලයට දිය පුරවා ගන්නා තෙක්ම වෙන්ව පැවතීම දේව අනුහසයි. දිය කැපීමෙන් අනතුරුව බුලත් හුරුළු හා පඬුරු දියට දමමින් අදාළ පැරණි චාරිත්‍ර එලෙසටම සිදු කරනු ලබයි. හක් පිඹීමෙන් දිය කපා අවසන් බව දැන්වූ පසු තොටියන් ඔරුව නැවත ගොඩවන තොටුපළ වෙත ගමන් කරවීම සිදු වේ. චාරිත්‍රානුකූලව පුදසිරිත් කිරීමෙන් අනතුරුව තොටුපළින් ගොඩ වන බස්නායක නිළමේතුමන් පැමිණෙන්නේ හිසේ සිට පිරුවටයකින් වසාගෙන වීම විශේෂත්වයකි. පිරුවට වලින් ආවරණය වී පැමිණි පසු සෙත් ශාන්ති සිදු කරවා ගරායකුම නටා හිසේ සිට වසා ඇති පිරුවට ඉවත් කිරීම සිදු කරයි.දිය කපා ගොඩවන ස්ථානයේ දී ඇසළ මංගල්‍යය ආරම්භයේ දී සිට වූ කප පා කර හැරීම සිදු වේ. කප පා කර හරින පුද්ගලයා කප ඔරුව යටින් පිහිනා රැගෙන ගොස් පා කරයි.එසේ සිදු කරන්නේ සියල්ලන්ගේ වස්දොස් දුරු කර ශාන්තිය උදා කරලීමටයි. පසුව දේවාභරණ හා රන් පැන් කලය එම ස්ථානයේ තැනූ විශේෂ මණ්ඩපයක තැන්පත් කර ගරායක් ශාන්තිකර්මය සිදු කරයි. සියල්ලන්ට දේව දානය පිළිගැන්වීමෙන් අනතුරුව රන් පැන් කලය හා දේවාභරණ රැගත් දිය කපා ගෙවදීමේ පෙරහැර දේවාලස්ථානය වෙත ගමන් අරඹයි. මෙසේ ලබාගන්නා පැන් ඉදිරි වසරේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයේදි නානුමුර මංගල්‍යය සඳහා යොදා ගනියි.

මෙම දිය කැපීමේ මහා මංගල්‍යයයෙන් කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලයේ 211 වන ඇසළ මංගල්‍යයේ පෙරහැර රාජකාරීන් නිමාවට පත් විය. මෙවර පෙරහැර මංගල්‍යය සාර්ථක කරගැනීමට සහය වූ සෑම සියලු දෙනාටම උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිබඳවම ලැබේවා!.

තෙරුවන් සරණයි!

සටහන – උමේෂ් මේනුක

මාධ්‍ය අංශය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානය,

කඩුවෙල.

Details

Date:
Aug 13, 2023
Time:
8:00 am - 11:30 pm
Event Category: