ල
ක්දිව වන්දනයට පාත්‍ර වන දෙවි දේවතාවුන් වහන්සේලා අතරින් ප්‍රධාන වශයෙන්ම සියල්ලන්ගේ ගෞරව බහුමානයට හා වන්දනයට පාත්‍ර වන දෙවිකෙනෙක් වශයෙන් උතුම් වූ කඳ සුරිදුන් වහන්සේ හදුන්වා දිය හැකිය. රුහුණු රට කතරගම පුරවරයේ මැණික් ගංතීරය අසබඩ මනරම් වූ පුණ්‍ය භූමියක් තුළ පිහිටා ඇති රුහුණු මහා කතරගම දේවාලය වසර පුරාවටම බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන පුද බිමකි. මහාඝෝෂ නම් දෙවි කෙනෙකුට අයත්ව තිබූ කතරගම ප්‍රදේශය පසුව කතරගම දෙවිදුන් උදෙසා කැපවුණු බව ඉතිහාසයේ සඳහන් වේ. ලක්දිව අන් කවර දෙවිකෙනෙකුටම වඩා වැඩි දේවාල ගණනක් සෑම පළාතක් තුළම වෙහෙරවිහාර වල කතරගම දෙවියන්ගේ නමින් ඉදිව තිබීම විශේෂත්වයකි.
“කාචරගාම ග්‍රාමාන්තර වාස භවන නිත්‍යං
ශ්‍රී ගණ ශාසන සංරක්ෂණ ලංකාදීපං
මයුර වාහනාරූඪ කන්ද දේව රාජං
ශ්‍රී විරාජමාන පුෂ්පං ආසන ප්‍රවිෂ්ටං
දීප දූප ගන්ධ පුෂ්ප තාම්බුලාදි වන්දනම්
ධ්‍යාන හෝම යාමනාදි පූර්ව කර්ම සේවිතම්
පූජයාමි වාර ද්වාර සෞඛ්‍ය ලාභ හේතුනම්
තං කුමාර දේව රාජ පාද පද්මයෙන් නමම්”
කතරගම දෙවියන්ගේ උප්පත්තිය පිළිබඳව භාරතීය දේවකතාවල ප්‍රධාන මත හතරක් පවතින අතර මෙම දෙවියන් බුද්ධ වර්ෂාරම්භයට පෙර කතරගම නුවර විසූ මහාසේන රජතුමා යැයි ද ඉන්දියාවේ විසූ අතිදක්ෂ රණකාමී යුධ සෙන්පතිවයෙකු පසුකලෙක ලක්දිවට පැමිණීමෙන් පසු මරණින් මතු දේවත්වයට පත් වූ බවට ද තවත් මත ජනප්‍රවාදයේ පවතී. කෙසේවෙතත් කතරගම දේව උප්පත්තිය පොළොන්නරුව යුගයට පෙර සිදු වූවක් බව පොළොන්නරු යුගයේ රචිත සසඳාවතෙහි එන කතා පුවතෙන් මනාව පිළිඹිබු වෙයි. සිංහල දේව පුරාණය ග්‍රන්ථයට අනුව කතරගම දෙවිදුන් සම්බන්ධ ප්‍රකට ඓතිහාසික කථාපුවත් කීපයක් ලංකා ඉතිහාසයේ සඳහන් වේ.
කතරගම දෙවියන්ට භාරයක් වී එළාර සමඟ යුධ වැදි දුටුගැමුණු මහ රජතුමා යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එහි ගොස් කතරගම දේවාලය කර වූ බව ජනප්‍රවාදයේ එන කරුණකි. දෙවන කාශ්‍යප රජුගේ පුත්‍ර රත්නය වන මානවම්ම කුමරා කඳකුමාර වරම් ලබනු වස් ගෝකණ්ණ වෙරළේ සිට මන්ත්‍ර ජප කල බවත් මැදියම් රෑ වන විට මයුර වාහනාරූඪව කඳ කුමරුන් පෙනී සිටි කල මොණරාට එළ වූ බිලියක් නොමැත්තෙන් මතු වන ලාභ තකා සිය ඇස ඌට ගොදුරු පිණිස පිදූ බවත් පසුව මානවම්ම කුමරාට සතුරන් දිනා රාජ්‍යය ලැබීමට කඳ කුමරුන් පිහිට වූ බවත් මහාවංශයේ සඳහන් වෙයි. එසේම අලුත් නුවර ලේකම් ලිපියේ සඳහන් වන පරිදි උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය කරවා ඇත්තේ යාපා මහ රජුන් වන අතර ඒ පළමු වන රාජසිංහ රජු සමඟ යුධ වැදුණු මොහොතේ යාපා මහරජුන් විසින් සතුරා ජය ගැනීමට කල භාරය සිහිපත් කිරීම පිණිස වේ. බෞද්ධ ඓතිහාසික කරුණු සැලකීමේදී ද කතරගම දෙවියන් පිළිබද වටිනා කතා පුවත් රාශියක් සිහි කැඳවීමට හැකි අතර ඒවා අතර බුදුන් වහන්සේ ලංකාවට වැඩි තුන්වන ගමනේ දී කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටුවන ස්ථානයේ පන්සියයක් රහතන් වහන්සේලා සමාපත්ති සුවයෙන් භාවනායෝගීව වැඩ විසූ බවත් මතු ආරක්ෂාව පිණිස කතරගම පුදබිම මහාඝෝෂ නම් දෙවි කෙනෙකුන්ට භාර කල බවටත් වන කතා පුවත ඓතිහාසික වශයෙන් වැදගත් වේ.
එය ධාතුවංශය තුල පැහැදිලිව දක්වා ඇත. ඈත අතීතයේ සිටම කතරගම පුදබිම බෞද්ධ මුහුණුවරක් ගත් බව පැහැදිලිය. දේවානම්පියතිස්ස රාජ්‍යය සමයේ ලක්දිවට ජය ශ්‍රී මහ බෝ හාමුදුරුවන් වහන්සේ වැඩමවන අවස්ථාවේ එතැනට රැස් වූ පිරිස අතර කතරගම පුරවරයේ ක්ෂත්‍රීයන් සිටිමෙන් හා උතුම් වූ ජය ශ්‍රී මහා බෝධියෙන් පැන නැගුණා වූ ප්‍රථම අෂ්ටඵල බෝධියක් ද කතරගම රෝපණය කිරීමෙන් මේ බව වඩාත් තහවුරු වේ. එසේම ලක්දිව සතරවරම් දෙවිවරුන් ගෙන් කෙනෙකු ලෙස ස්කන්ධ දෙවියන් සැලකේ. 14 වන සියවසට අයත් නිකාය සංග්‍රහයට අනුව “සිරිලක අරක් ගත් කිහිරැලි උපුල්වන් , සමන් බොක්සැල් , විභීෂණ ,ස්කන්ධ කුමාර යන සතරවරම් මහරජුනට ” යන්න සඳහන් වීමෙන් මේ බව පැහැදිලි වේ.
කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් ලෙස සැලකේ. අසුරයන් සමඟ යුද්ධය දිනූ කඳ කුමරුට ඉන්ද්‍ර දෙවියන් තම දියණිය වූ දේවසේනා ආවාහ කර දුන් බව පැවසේ. අනතුරුව රූමත් වල්ලි අම්මා විවාහ කරගත් කතරගම දෙවියන් කතරගම වැඩහිටි කන්දේ පිහිටි අසපුවක වාසය කර ඇති අතර එය දැනගත් දේවසේනා කුමරිය හෙවත් තේවානි බිසව කතරගමට පැමිණ වත්මන් මහා දෙවොල පිහිටා ඇති තැනට වල්ලි අම්මාත් කඳ කුමරුනුත් ගෙන්වාගෙන ව්සූ බව සඳහන් වේ.
ස්කන්ධ කුමාර , කාර්තිකේය , මුරුගල් , වේලුපිල්ලේ , කන්දසාමි , ශරවනභව , සුභ්‍රමණ්‍ය , සනත් කුමාර ආදි වූ නම් රාශියකින් හදුන්වනු ලබන කතරගම දෙවියන් මුහුණු සයක් හා අත් දොළොසක් සහිතව රණ මොණර වාහනාරූඪව ශ්‍රී ලංකාද්වීපයට සෙත සලසමින් වැඩ වාසය කරයි. කතරගම දෙවියන් අදටත් ජීවමානව කැබිලිත්ත ( මහ සියඹලාව ) පුදබිමෙහි වැඩ වාසය කරන බව ජන විශ්වාසයි. මහත් වූ හාස්කම් වලින් පිරුණු බොහෝ දෙව් මිනිසුන්ගේ වන්දනයට පාත්‍ර වන ගෞරවණීය පුදබිමක් වශයෙන් කැබිලිත්ත හදුන්වා දිය හැක. එසේම කතරගම වැඩසිටි කන්ද හා කතරගම මහා දේවාල පුදබිමද බැතිමතුන්ගේ වන්දනයට නිතර දෙවේලේ පාත්‍ර වන පුදබිමකි. වාර්ෂික පෙරහැර මංගල්‍යය ඇතුළු අතීත චාරිත්‍ර සංස්කෘතිකාංග නොකඩවා ඉෂ්ට සිද්ධ කරමින් කතරගම දෙවි හාමුදුරුවන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සිරිත් පරිදි සිදු වන්නකි.
ලක්දිව සිංහල , දමිළ ජනයා පමණක් නොව පුරාණ වැදි ජනයා අතරද කන්දෙ දේව විශ්වාසය නොවෙනස්ව පවතින්නකි. කතරගම දෙවියන් හා වල්ලි අම්මා අතර විවාහය වනාහි දඩයම් කරුවන් හා කෘෂිකාර්මික ජනයා අතර සමාජ සංස්කෘතික සම්මිශ්‍රණය සංකේතවත් වන්නක් බව පැරැන්නන්ගේ මතයයි. කතරගම මහා දේවාලය , වැඩසිටි කන්ද , කැබිලිත්ත මෙන්ම උඩුනුවර ඇම්බැක්ක දේවාලය ද කතරගම දෙවියන් උදෙසා ඉදි වූ බලසම්පන්න දෙවොලකි. සත්වන බුවනෙකබා රාජ සමයේ ඉදි වන්නට ඇතැයි සැළකෙන උඩුනුවර දේවාලයට අමතරව මහනුවර උග්ගල් අලුත්නුවර , බදුල්ල යන ස්ථාන වලද පුරාණ දෙවොල් ඉදිව පවතී.
කතරගම දෙවියන් වෙනුවෙන් කියවෙන දේව කන්නලව්වට අනුව “
කතරගම කන්දට , කුඩා කතරගමට , මහා කතරගමට , සෙල්ලම්දූවට , මඩම්දූවට , මැණික් ගඟට , වළවේ ගඟට , කිරිඳි ගඟට , මුන්නේශ්වරම් දේවාලයට , මුන්නේශ්වරම් පස් පත්තුවට , වැඩසිටි කන්දට , කළුවිල කොට්ටියාරමට , මුතුකුඩේට, චාමර සත්පලිහට , සුදු හරක් ගාලට , කලු හරක් ගාලට , ගෝනරැලට , මුවරැළට , වල්ලි අම්මා දේවීන්ගේ තුන් අඩ සද්දෙට , මුහුදු මැද්දේ පිහිටන්නා වූ ත්‍රීකෝවිලට දිවැස් හෙලමින් යහතින් බැල්මලා වැඩ වදාරන්නා වූ තෙදබලැති කන්දස්වාමි දෙව් මහරජාණන් වහන්ස………..”
යන්නෙන් කතරගම දෙවියන්ගේ අණසක පවතින බව කියවේ.
කඩුදෙවොල ඓතිහාසික සිද්ධ රංකඩු පත්තිනි දේවාලය තුළද කතරගම දෙවියන් වෙනුවෙන් දිනපතා පුද පූජා පවත්වන අතර බොහෝ හාස්කම් සහිත දේවාලයක් ලෙස ලක්දිව ප්‍රකට වී ඇත. එසේම වාර්ෂික ඇසළ මංගල්‍යය තුළද කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වන ගිණි පෑගීමේ මහා මංගල්‍යය ද කඩුදෙවොල තුළ ඉපැරැණි චාරිත්‍ර පුදසිරිත් වලට අනුව සිදුවන්නකි. උතුම් වූ කඳ සුරිදුන් වහන්සේගෙ ආනුභාවයෙන් ඔබ සැමට යහපතක්ම වේවා!!
කදිරේ පුරප්‍ර ලොකෙ සමිං
පංච වත්‍රප්‍ර ශෝබිතං
ත්‍රිසූලංච ධරා හසෙත
මයුරාත් වාහනං තථා…..
සටහන – උමේෂ් මේනුක
ආශ්‍රිත මූලාශ්‍ර
- සිංහල දේව පුරාණය – කේ.එන් ඕ. ධර්මදාස , එච් . එස්. තුන්දෙනිය
- සිව්හෙළ දෙවිවරු – සරණපාල නුවරපක්ෂ
- සියණෑ කෝරළ දෙවිවරු හා විශ්වාස – ආර්.පී.පියදාස
ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි.!
තෙරුවන් සරණයි!