Skip to content Skip to sidebar Skip to footer

ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයානන්

දේශය සුරකින දෙවිවරුන් වන විෂ්ණු , සමන් , කතරගම , පත්තිනි යන්නා වූ සතරවරම් දෙවිවරුන් අතර ප්‍රමුඛම දෙවියන් වශයෙන් සැළකෙන විෂ්ණු දෙවියන් යනු බ්‍රහ්ම , විෂ්ණු , ඊශ්වර (ශිව) යන හින්දු ත්‍රී මූර්තියේ දෙවැන්නායි. දේව ත්‍රී මූර්තියේ දී විෂ්ණු දෙවියන් සළකනු ලබන්නේ ලෝකයේ පැවැත්ම , ආරක්ෂාව හා ස්වස්තිතිය භාර දෙවියන් ලෙසය. 

භාරතයේ උපත ලබන විෂ්ණු දෙවියන්ගේ සොහොයුරිය පාර්වතියයි. ධනයට හා සෞභාග්‍යයට අධිපති දේවතාවුන් වහන්සේ ලෙස සැළකෙන ලක්ෂ්මී දෙවඟන විෂ්ණු දෙවිදුන්ගේ ප්‍රියම්භිකාවයි. සිවුසැට අභරණින් සැරසී තේජසින් පරිපූර්ණ තරුණවියේ පසුවන රජ කෙනෙකුගේ රූප සොබාවට සමාන නිල්වන් පැහැයෙන් යුත් විෂ්ණු දෙවියන්ගේ රුව අත් සතරකින් සමන්විතය. වම් අතෙහි නෙළුම් මලකුත් දකුණු අතෙහි කෞමෝදකී යගදාවත් ඉහළින් පිහිටි වම් අතෙහි පංචජාන්‍ය සංඛයත් ඉහළින් පිහිටි දකුණු අතෙහි සුදර්ශන චක්‍රයත් සහිතව විරාජමාන වෙයි. එසේම විෂ්ණු දෙවියන්ගේ ළමැද ” ශ්‍රී වත්ස” නම් ලකුණක් ද වේ. කහ පැහැති වස්ත්‍රයෙන් විරාජමාන වන විෂ්ණු දෙවියන්ගේ ගෙලෙහි කෞස්තූභ නම් වටිනා මැණික් වලින් සමන්විත ආභරණයක් ද වෙයි.

ගුරුළු වාහනාරූඪව වෛකුන්තය වාසභවන කොට වැඩ වාසය කරන විෂ්ණු දෙවිදුන් පිළිබඳව “භගවත් පුරාණයේ” සඳහන් වන ආකාරයට විෂ්ණු දෙවියන්ගේ අවතාර අප්‍රමාණ වන අතර අවතාර 10ක් පූර්ණ රූපයෙන්ම දැක්වේ. ඒ පූර්ණ රූප දස අවතාරයන් පිළිබඳව “අග්නි පුරාණය” , “ගරුඬ පුරාණය” හා “භගවත් පුරාණයේ” සදහන් වේ. 

මත්ස්‍ය , කුර්ම , වරාග , නරසිංහ , වාමන , පර්ශුරාම , රාම , ක්‍රිෂ්ණ , බුද්ධ , කල්කී යනාදී වශයෙන් දැක්වෙන මෙම දස අවතාරයන් පිළිබද ඓතිහාසික කතා පුවත් පිළිබද විස්තර ඉහත කී මූලාශ්‍ර පොත පතෙහි වැඩිදුරටත් සදහන් වේ.  සූරිය දේව ගණයට අයත් විෂ්ණු දෙවියන් උපේන්ද්‍ර , දාමෝදර , ගෝවින්ද , කේශව , ජගන්නාථ , ක්‍රිෂ්ණ , මාධව , නාරායන , ශ්‍රීදර හා උපුල්වන් වැනි නම් රාශියකින් හදුන්වනු ලබයි.

මේ ශ්‍රී ලංකාද්වීපය තුළ පිහිටා ඇති බොහෝ බෞද්ධ වෙහෙර විහාර වල විෂ්ණු දේවාලයක් පවත්වාගෙන යාම සුලබ දසුනකි. බෞද්ධයන් විෂ්ණු දෙවියන් සළකන්නේ බෞද්ධ දේවාත්මයක් ලෙසිනි. ඇතැම් දේව කන්නලව්වලදී “මතු බුදුවන විෂ්ණු දේවරාජෝත්තමයන් වහන්සේට” යනුවෙන් දැක්වීමෙන් එය තවත් තහවුරු වෙයි. එසේම බෞද්ධ ඉතිහාසයේ එන පරිදි සම්බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාණන්ට කතා කොට අනාගත සම්බුද්ධ ශාසනය සුරක්ෂිතව සුරකින ශ්‍රී ලංකාද්වීපය හා සිංහල ජාතිය ආරක්ෂා කර දෙන ලෙස නියෝග කල සේක. මෙයට සුදුසු ධීර – වීර – තේජ දෙවියා තෝරාගත් ශක්‍රදේවේන්ද්‍රයන් ලංකාව ඒ දෙවියාට භාරදුන් ආකාරය මහාවංශයේ මෙසේ සදහන් වෙයි.

තථාගතස්ස දේවින්ද්‍රෝ වචො සුන්ථාච සාදරෝ

දේවස්සුප්පළ වණ්ණස්ස ලඬ්කා රක්ඛං සමප්පයම්

“බුදුන් වහන්සේගේ දේශනය ඉතා ගෞරවයෙන් පිළිගත් ශක්‍ර දෙවියන් උත්පලවණ්ණ දෙවියන්ට ලංකාවේ ආරක්ෂාව පැවරීය.” යන්න මේ පාලි පාඨයේ අදහසයි. මහාවංශයේ පෙන්වන උත්පලවණ්ණද (උපුල්වන්) බෞද්ධ සාහිත්‍යයේ එන විෂ්ණු දෙවියන්ද දෙදෙනෙකු යැයි ද මතයක් පවතී. නමුත් කරුණුකාරණා මනාව කැටි කොට විමර්ශනයේ දි පෙනී යන්නේ ඒ දෙදෙනෙක් නොව එක්කෙනෙක්ම යන්නයි. උත්පලවණ්ණ යන්නෙහින් වණ්ණ යන්නෙන් පැහැය පමණක් ගෙන ඇති බව පෙනේ. නිල් උපුල් මලෙහි පැහැය නීල වර්ණයට සමාන වූවකි. මේ යෙදීම අනුව උපුල් පැහැය ගත් දෙවියා උපුල්වන් දෙවි වූවා යැයි සිතිය හැක. විෂ්ණු දෙවියන්ට ද නීල වර්ණ දේහයක් ඇති හෙයින් විෂ්ණු , උපුල්වන් ‍යනු නම් වශයෙන් දෙදෙනෙකු ලෙස පෙනෙන නමුදු පැහැයෙන් , ස්වරූපයෙන් හා වගකීම් වලින් එකම දෙවියකු බව සිතීමට හැක. උපුල්වන් දෙවියන්ට රාම යන නාමය යෙදී තිබීමෙන් ද මේ බව තවත් තහවුරු වේ.

තවද මයුර සංදේශයේ සදහන්වන පරිදි බුද්ධත්වය ලබා ගන්නා මොහොතේ දී එය වළක්වාලනු වස් පැමිණි මාර සෙනඟ දුටු අනෙකුත් දේව කොට්ඨාස එතැනින් පලා යද්දී ඔවුනට නොබියව මුහුණ දී ගෞතම මුණිදුන්ට ආරක්ෂාව සපයා ඇත්තේ ද විෂ්ණු දිව්‍යරාජයන් විසිනි.

ලක්දිව බුදු සසුන ආරක්ෂා කරන්නා වූ අති උතුම් විෂ්ණු දෙවිඳුන් වහන්සේට පුද පූජා පවත්වන මූලිකම ස්ථාන ලෙස දෙවිනුවර ශ්‍රී උත්පලවණ්ණ විෂ්ණු මහා දේවාලයත් අලුත් නුවර කන්දෙ විහාරයත් හදුන්වා දිය හැක. එයින් ශ්‍රී උත්පලවණ්ණ විෂ්ණු මහා දේවාල පෙරහැර සමස්ත ශ්‍රී ලංකාද්වීපයේම ගෞරවාදරයට පත් වන ඇසළ පෙරහැර මංගල්‍යයකි. විෂ්ණු දෙවියන් වෙනුවෙන් වසර ගණනාවක් පුරාවට එම පෙරහැර වීථී සංචාරය කරනු ලබයි. 

එලෙසම ඓතිහාසික කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලස්ථානයේ ද ප්‍රධාන දේව මාළිගාව තුළ විෂ්ණු දෙවියන් වෙනුවෙන් දෙවොලක් පවත්වාගෙන යන අතර ප්‍රධාන දේව මාළිගාවට පිටතින්ද ඒ සඳහා තවත් දෙවොලක් පවත්වාගෙන යනු ලබයි. එලෙස දිනපතාම විෂ්ණු දෙවිදුන් වෙනුවෙන් පුද පූජා පවත්වන අතර වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය තුළද විෂ්ණු දේව ආභරණ වඩම්මවමින් විෂ්ණු දෙවියන් උදෙසා භක්ත්‍යාදරයෙන් ‍යුක්තව කෘතගුණ සැලකීම සිදු කරයි.

කඩුදෙවොල රංකඩු පත්තිනි දේවාලයේ පිහිටා ඇති විෂ්ණු දේව මන්දිරය තුළ සදහන් ශ්‍රී විෂ්ණු දේවරාජයාණන් වෙනුවෙන්  ගායනා කරන ස්ත්‍රෝත්‍රයක් පහත වේ.

“සුක්ලාම්බර ධරම් විෂ්ණුම්

ශශී වර්ණම් චතුර්භූපම්

ප්‍රසන්න වඳනම්ධ්‍යායේ

සර්ව විග්නෝ ප්‍රශාන්තයේ 

 

ශාන්තාකාරම් භුජගසයනම්

පද්මනාගම් සුරේශම්

විශ්වාධාරිනී ගඟන සදුර්ෂම්

මේඝ වර්ණම් සුභාංගම්

 

ලක්ෂ්මී කාන්තම් කමලනයනම්

යෝගී දෙත්‍යාන ගම්‍යම්

වන්දේ විෂ්ණුම් භව භය හරම්

සර්ව ලෝකෙයික නාතම්

 

ඖෂධේ චින්තයේ විෂ්ණුම්

භෝජනේ චජනාර්ධනම්

ශයනේ පත්මනාගම්ච

විවාහේ චප්‍රජාපතිම්

 

යුද්ධේ චක්‍රධරම් දේවම්

ප්‍රවාසේ චති වික්‍රමම්

නාරායනම් තනුත්ත්‍යාගේ

ශ්‍රීධරම් ප්‍රිය සංගමේ

 

ධුස්වප්නේ ස්මරගෝවින්ධම්

සන්කතේ මධුසූධනම්

බානනේ නාරසීහම්ච

පාවකේ ජලසායිනම්

 

ජලමධ්‍යයේ වරානම්ව

පර්වතේ රගුනන්දනම්

ගමනේ වාමනම් වෛයිව

සර්ව කාර්‍යේසු මාධවම්

 

ශෝධ සයිටානි නාමානි

ප්‍රාත රුද්ධාය යාපදෙත්

සර්ව පාපා විනී මුක්තෝ

විෂ්ණු ලෝකේම හීයතී”

රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ශ්‍රී විෂ්ණු දිව්‍ය ‍රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලක්වැසි සියලු ජනයාට ආශිර්වාදයක් වේවා.

ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ  පිහිටයි.!!

තෙරුවන් සරණයි!!!

සටහන – උමේෂ් මේනුක

(අන්තර්ජාලය , ඓතිහාසික මූලාශ්‍ර හා ජනප්‍රවාද ඇසුරෙන්)

මාධ්‍ය අංශය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.

කඩුවෙල

 

Umesh
Content Writer

Leave a comment