ඊශ්වර දෙවියන් දේව සමාගමටම නායකත්වය දරන්නා වූ ද නර්තනයට අධිපතීත්වය ද දරයි. නටරාජා , නටේෂ යන අපරදිග නාමයන්ගෙන් හා මහාදේව , පසුපති , මහේෂ්වර , රුද්‍රශංකර , ශිව , සූලි හා පශුපති යන නාමයන්ගෙන් ඊශ්වර දෙවියන් හදුන්වනු ලබයි. පොළොන්නරුවේ මහාපරාක්‍රමබාහු රාජ සමයේ රචිත පාලි අභිධානප්පදීපිකාවේ ඊශ්වර දෙවියන් හැඳින්වූ නම් පිළිබඳ මෙසේ සඳහන්ව පවතී.
“මහිස්සරො සිවො සූලි
ඉස්සරො පසු පත්‍ය ”
එසේම සින්දු නදිය ආශ්‍රිතව ගොඩනැගී තිබූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ ඇදහීම්වල එන පළමුවන දේවත්වය ලෙස ද ඊශ්වර දෙවියන් සැළකේ. හින්දූන්ගේ ප්‍රධාන දෙවිවරුවන් අතර ඊශ්වර දෙවියන් ද ප්‍රමුඛත්වයක් ගනී. හින්දු ධර්මයට අනුව ලෝකයේ ඇතිවීම , පැවතීම , නැතිවීම ඇතිවන්නේ ත්‍රිමූර්තියෙන් බවත් ඒ අනුව ලොව මැවීම මහා බ්‍රහ්මයා අතිනුත් ලොව පැවතීම විෂ්ණු මූර්තියෙනුත් සිදු කෙරෙන අතර ඊශ්වර මූර්තියෙන් ලොව නැති වීම සිදුවන බවත් පැවසේ.
ඊශ්වර දෙවියන් නැකැත් ශාස්ත්‍රයට යන්ත්‍ර මන්ත්‍ර ආදියට මෙන්ම භූමි වස්තූන්ට ද අධිපතීත්වය දරයි. වෘෂභ වාහනාරූඪව දිවි සමක් ඇඳ දිවි සමක් මත ධ්‍යානයට සමවැද සිටින ඊශ්වර දෙවියන්ගේ ආයුධය ත්‍රිශූලයයි. උඩැක්කිය වාද්‍ය භාණ්ඩය ලෙස සැලකේ.
මුහුණු පහකින් තෙත් තුනකින් (තිනෙත්) විරාජමාන වන ඊශ්වර දෙවියන් ත්‍රිශූලය , වජ්‍රය. කඩුව , පොරව , නාගයෙක් , පාශය , ඝණ්ටාව , ඩමරුව හා අකුස්ස යන මේවා දරණ බව ද කෛලාසකුට පර්වතයේ වැඩ වාසය කරන බව ද සදහන් ය. ඊශ්වර දෙවියන් යනු කඳ කුමරුන්ගේ හා ගණේශ කුමරුවන්ගේ පියාණන් වන අතර පාර්වතී දේවිය ( උමයංගනාව ) ඊශ්වර දෙවිඳුන්ගේ බිරිය ලෙස පැවසේ.
විජය ශ්‍රී ජයසිංහ මහතා විසින් රචිත ” හෙළබිම පුද ලබන දෙවිවරු ” ග්‍රන්ථයෙහි සඳහන් වන පරිදි ඊශ්වර දෙවියන්ට උමයංගනා , පාර්වතී හා ගංගා යනුවෙන් බිරින්දෑවරුන් තිදෙනෙක් වූ බවත් උමයංගනාව ලොව පහළ වූ රූපශ්‍රීයෙන් අගතැන්පත් දෙවඟනක බවත් පාර්වතිය නෘත්‍ය ගීතාදියෙහි නුයුක්ත දෙවඟනක් බවද , ශිව දෙවියන් ජඨාවන්ගෙන් ඇදී එන ජලධාරාව ශිව ගංගා දේවිය ලෙස ද හැදින්වෙන අතර තෙවන බිරිඳ වූ ගංගා දේවිය යනු සංකේතයක් පමණක් වන බවද දැක්වේ.
උඩරට නර්තන කලාවේ එන දහ අට වන්නමෙහි එන සුරපති වන්නමෙන් කියවෙන්නේ ද නර්තනයට අධිපති ඊශ්වර දේව කතාවයි. ජේෂ්ඨ කථිකාචාර්ය ඥානසිරි පීරිස් මහතා විසින් රචිත ” වන්නම් ගීත සාහිත්‍ය විචාරය ” ග්‍රන්ථයේ සඳහන් වන පරිදි උමයංගනාව පිනවනු වස් ඊශ්වර දෙවියන් නර්තනයේ යෙදෙන අවස්ථාවේ දී රාවණා රජු මහාමේරුව සොලවා ඊශ්වරට විහිළුවක් කිරීමට සිතුවෙන් ඊශ්වරගේ නර්තනයේ කේන්ද්‍රීය ලක්ෂ්‍ය වෙනස්වීම නිසා නර්තනය නිවැරැදිව කිරීමට ඊශ්වරට නොහැකි වූ බවත් අනතුරුව රාවණා ඊශ්වරගෙන් නර්තන ශිල්පය උගත් බවත් සඳහන් ය.
ඊශ්වර දෙවියන් උමයංගනාව උකුලට ගෙන වම්පයේ මහපටැඟිල්ල පොළොව මත තබා වේගයෙන් භ්‍රමණය වන විට ශරීරයෙන් අර්ධයක් ස්ත්‍රී වෙසින් ද අර්ධයක් පුරුෂ වෙසින් ද දර්ශනය වූ බව ද සඳහන් ය.
එසේම ඉහත කී ලෙස රාවණයන් විසින් මහාමේරුවට අත තබා එය සොලවන අවස්ථාවේ ඊශ්වර විසින් රාවණාගේ අත ඉවතට ගත නොහැකි වන ලෙසට මහාමේරුව පයින් මැඩගෙන සිටි බව ද පැවසේ.
ඊශ්වර දෙවියන් රාවණ යුගයේ සිටි දිව්‍යඥාන බලසම්පන්න දෙවියකු ලෙස මනාව පිළිඹිබු වන අතර රාවණයන් විසින් මහත් භක්ත්‍යාදරයකින් යුතුව ඊශ්වර දෙවියන් ඇදහීම සිදු කර ඇත. වෙසෙසින් රාවණා රජුට යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ ව මෙන් ම ආයුර්වේදය ජ්‍යෝතිශය වැනි ශාස්ත්‍රයන් ප්‍රගුණ කිරීමෙහි ඥානබල ශක්තීන් ඊශ්වරගෙන් ලැබුණ බවද මූලාශ්‍ර ග්‍රන්ථ වල සඳහන් ය.
මහත් වූ බලසම්පන්න දෙවි කෙනෙක් ලෙස සැලකෙන ඊශ්වර දෙවියන් වෙනුවෙන් ඉදි වූ දේවාල දිවයිනේ මහත් සේ ප්‍රචලිතය. ගම්බද කතරගම දේවාල ආශ්‍රිතව ඊශ්වර දේවාලයක් පවත්වා ගැනීම සමහරක් බෞද්ධ සිද්ධස්ථාන වල දැකිය හැකිය. යහපත් ජනයා රැක දෙමින් අධර්මයට එරෙහි වන්නා වූ ඊශ්වර දෙවියන් උදෙසා බැතිමතුන් තම සතුරන් මර්ධනය කරගැනීමටත් , නඩුහබවලින් යුක්තිය සාධාරණය ඉටුකර ගැනීමටත්. සෙත්ශාන්තිය ආරක්ෂාව උදාකර ගැනීම උදෙසාත් බාරහාර වීම සුලබ කරුණකි.
සකල දිව්‍යසමූහයාටම නායකත්වය සපයන්නා වූ මහාතෙදබලැති ඊශ්වර දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ පිහිටාරක්ෂාව නිබඳවම ඔබ අප සැමවෙත බලපැවැත්වේවා!
සටහන – උමේෂ් මේනුක
ආශ්‍රිත මූලාශ්‍ර – සිංහල දේවපුරාණය – කේ. එන් . ඕ .ධර්මදාස , එච්. එම්. එස්. තුන්දෙණිය
වන්නම් ගීත සහිත්‍ය විචාරය – ජේෂ්ඨ කථිකාචාර්ය ඥානසිරි පීරිස්
හෙළබිම පුද ලබන දෙවිවරු – විජය ශ්‍රී ජයසිංහ
ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!
තෙරුවන් සරණයි!
මාධ්‍ය අංශය,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.
කඩුවෙල