ගම්භාර දෙවියන් එසේත් නැතිනම් මේ සූනියම් දෙවියන් යනුවෙන් හදුන්වන්නේ කතරගම දෙවියන්ගේ පරිවාර සේනාවෙහි සේනාධිපති කෙනෙකු ලෙසත් දේවතා බණ්ඩාර දෙවියන්ගේ අධිකාරම්වරයෙකු ලෙසත් උපුල්වන් දෙවියන්ගේ පණිවුඩකරු ලෙසත් කියවේ.
පුර පක්ෂයේ දී දෙවියකු ලෙසත් අව පක්ෂයේ දී යක්ෂයෙකු ලෙසත් සූනියම් දේවතාවන් කටයුතු කරන අතර තුරඟ වාහනාරූඪව සෘධිවන්ත ගමන් වඩී. සූනියම් යන්නෙන් යමෙකුට අවැඩක් නපුරක් කිරීම අර්ථ ගැන්වෙන අතර නපුරක් ,අවැඩක්, සූනියමක් කරන්නා යන අරුතින් සූනියම් දේවතාවා ලෙසින් මේ දෙවියන් ව්‍යවහාර වන්නට යෙදී ඇත. සැරපරුෂ ගති ඇත්තෙකු වශයෙන් මෙම සූනියම් දෙවියන් හැදින්වෙන අතර යක්ෂයෙකු ලෙස පෙනී සිටින අවස්ථාවේ දී මුවගෙහි රක්ත වර්ණ ලේ පොළගෙකු ද හිසේ ගිනි කබලක් ද සහිතව සංකේතවත් කෙරේ. දේව ස්වරූපයෙන් පෙනී සිටින අවස්ථාවේ දී සුදු වතින් සැරසී ගෙලේ හා දෑතෙහි නාග රූ සහිතව නිරූපනය වන බවත් අත්ලෙහි සෝලි වැලක් සමන්විත වන බවත් කියවේ.
සූනියම් දෙවියන් පිච්ච මල් සුවඳ හමන සිරුරකින් සමන්විතව ගමින් ගම ගෙයින් ගෙට සංචාරයේ යෙදෙමින් ගැමියන්ගේ දුකට පිහිටවන දෙවි කෙනෙකු ලෙසත් නඩුඅවනඩු සම්බන්ධව සොයාබලා යහපතට සෙත සලසන දෙවි කෙනෙකු ලෙසත් පැරැන්නෝ විශ්වාස කරති. එම නිසාවෙන්ම සූනියම් දෙවියන් ගම්භාර ලෙසින් ප්‍රචලිතව ඇත. මෙසේ ගම්දනව් සිසාරා රාත්‍රියේ සැරිසරන ගම්භාර දෙවියන් වෙනුවෙන් පහනක් දැල්වීම බැතිමතුන්ගේ සිරිතයි.
ඔඩ්ඩි කුමාර , ඔඩ්ඩිස යකු , සූනියම් යකා , මල්වත්තේ බණ්ඩාර යන නම් වලින්ද හැදින්වෙන සූනියම් දෙවියන් සත්ජන්ම යන නමින් ද හදුන්වයි.සූනියම් දේවතාවන්ගේ උප්පත්ති කතාව පිළිබඳව අධ්‍යනයේ දී විවිධ ජනප්‍රවාද කතා රැසක් ඉස්මතු වන අතර පත්තිනි දේව මෑණියන් අරඹයා සිදු කෙරෙන ගම්මඩු ශාන්තිකර්මයේ දි කියවෙන දළුමුර කවිවලට අනුව සූනියම් දෙවියන් යනු උතුරු ඉන්දියාවේ පඬුවස් නිරිඳුන්ගේ පුතාය.
” දා වෙමින් නුවට පඬුවස් නිරිඳුන්ට
තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට
මා විසින් කියන දේ ඉටු කර දෙන්ට
සූනියම් දේවතාවනි මේ පිං ගන්ට “
එසේම සුරාසුර යුද්ධයේදි සුරයන්ගේ ශක්තිය හීන වූ විටදී ඊශ්වරයන් විසින් අසුරයන් විනාශ කොට සුරයන්ට ජය අත්කර දීම පිණිස උපක්‍රමයක් ලෙස මහකෙළ නා රජුන් මහාමේරුව වටා ගමන් කරවා එකතු කර ගන්නා ලද සියළු භයානක විෂ එකතු කොට ගුලියක් තනා එය ගිල දමා විෂ ධූමයක් පිට කල අතර එම ධූමයෙන් දහසක් පිරිවර ඇති සූනියම් යකෙකු පහළ වූ බව ද කියවේ. පසුව මේ සූනියම් යක්ෂයා වෙසමුණිගෙන් වරම් ගෙන මෙලකට ගොඩ බට බවත් වලස් , ගොන් , නාග , කටුසු , ගෙඹි , කුරුමිණි ආදි වෙස් ගෙන ජනතාවගේ ලෙඩරෝග සුව කරන බවත් බැතිමතුන්ගේ විශ්වාසයයි.
ශ්‍රී ලංකාවාසි බැතිමතුන් බොහෝ දෙනෙක් සූනියම් දෙවියන් වෙනුවෙන් මල් පැලක් තනා පහනක් දල්වා තම දුක් ගැනවිලි දෙවියන් ඉදිරියේ කියාපෑම අතීතයේ සිට එන සිරිතකි. නාථ දෙවියන් , විෂ්ණු දෙවියන් , කතරගම දෙවියන් හා පත්තිනි මෑණියන් සේම ගම්භාර සූනියම් දෙවියන්ට ද සුවිශේෂි ස්ථානයක් ශ්‍රී ලංකාද්වීපය තුළ නිර්මාණය වී තිබේ.
පස්වාන් දහසකට මුළුකල්ප දහසකට අනන්ත කල්පයන්ට උපශාන්ත ගුණෝපලක්ෂිත සුබ්රවර්ණ වස්ත්‍රාභරණයෙන් දිලිසි දිලිසී කරුණා මෛත්‍රී ගුණ පිණ්ඩයක්ව සුබ්රවර්ණ කීර්ති රශ්මිධාරාවන් පතුරුවමින් දස දිගත එකළු කර අතිධවල ජටාමකුටාලංකාර උත්තරශාටකාලෝකය විදාපාමින් අනේක ශාන්ත ගුණ තේජෝපලක්ෂිතව තුරඟ වාහනාරූඪව අනේක විධ භූත ගණයා පිරිවරා මේ ශ්‍රී ලංකා ධරණීතලය අතුරු සිදුරු නොමැතිව පතර තෙද බල පා නිතර ගමනය වෙමින් ගම් කොරටු බාරව සකල නර සත්වයන්ගේ පූජෝපහාරයන්ට දිවැස් හෙලා ශ්‍රී රාම නම් ලත් මහා නාරායන දිව්‍ය රාජෝත්ත්මයන් වහන්සේ අධිපතිව අභය හස්ථය පා සත්වයාට අභය දානය සලස්වන ශ්‍රීමත් ගම්භාර ශ්‍රී සිද්ධ සූනියම් දිව්යරාජෝත්තමයන් වහන්සේට වැද මුදුන්පත් කර කියා සිටින කන්නලව්ව දිව්‍ය කර්ණයෙන් අසා දිව්‍ය නේත්‍රයෙන් බලා ඔබවහන්සේගේ පිහිටාධාර ප්‍රාර්ථනාවෙන් අප විසින් කැප භාරදෙන කපුරු, කස්තුරි, සදුන්, සුවද දුම්, මල් පහන් පුද පූජාවන් කෙරෙහි දිව්යනේත්රය හෙලා අපට වැළදී එන්නාවූ සකළවිධ දුක්ඛාන්ධකාරයන් දුරින් දුරගසා අපට ඇල්මකර , බැල්මකර , දිෂ්ඨිකර , ජායාකර , අමියාකර සිටින්නාවූ….
යක්ෂ , ප්‍රේත , භූත , කුම්භාණ්ඩාදීන්ට අප ගිනිවැටක් කර ඉවත පළවා හැර සකල ගුණ සමෘද්ධාලෝකයෙන් ඔප්නංවා චිරාත්කාලයක්ම ආයුරක්ෂාකර දී වැඩ වදාරන සේක්වා….
තවද.. , සෘද්ධිමත් මහා වික්‍රමයෙන් ශාන්ත ශ්‍රී දේහය ඇසිල්ලකදී විසල් කර ඔඩ්ඩිස නමින් යුත් භයංකාර රාක්ෂාවතාරයක් මවා ගමින් නීල වර්ණ දේහයකින් සමන්විතව එසේම තුරග වාහනාරූඪ ව එක් අතකට වඩිග කඩුවක්ද , එක් අතකට ගිනිකබලක්ද , එක් අතකට ත්රීශූලයක් දරාගෙන සිව් අත් ලෙලව ලෙලවා කෲරතර අති භයංකාර විලාසයකින් තේජස් බවට පත්වෙමින් ගමන් කරන ඔඩ්ඩිස නාමාභිධාන සිද්ධ බලකාර ගම්භාර ශ්‍රී සූනියන් දිව්යරාජෝත්තමයානන් වහන්ස.!
ඔබ වහන්සේට කියා සිටින කන්නලව්ව දිෂ්ඨි දිවැස් කරුණාකර බලා වඩ වදාරා සියළු වැරදිවලට ක්ෂමා වී ඔබ වහන්සේට සැලකර සිටින මෙකී උවමනාවන් ඉෂ්ටකර දී වැඩ වදාරණ සේක්වා…
තවද…
හිරන්ද නම් වනයේ අජාසත්ත පර්වතයේ යහතින් වැඩ වාසය කරන.., විෂ ඝෝර සර්පාභරන නො අඩුකර ලේ පොලගෙක් කටින් ගෙන සිරස මිණිජටා මහ කිරුළ විෂ ඝෝර සර්පාභරණ රුවාගෙන ගෙලවටා වෙලාගත් සපුන්ගේ සැරයවා උදරේ නා වලල්ලේන් ඔප්නැගි සිරස මත ගෙතුනු දිග., පසක් සැඩපළු දරාගෙන අකුණු හෙණ නැගී එන මහා මේඝකූඨයක් බදුව යකුන් පිරිවරාගෙන ගමන් කරන ශ්‍රී සෞභාග්‍යයෙන් සමලංකෘත සිද්ධ ඔඩ්ඩිස දිව්යරාජෝත්තමයන් වහන්ස.!
ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා වදිමින් කියා සිටින කන්නලව්ව දිෂ්ටි දිවැස් කරුණාකර බලා මෙවනි මේ පූජෝපහාරයන් කැප භාර අරගෙන ඔබවහන්සේගේ දෙපාමුල වැදවැටී ඔවුනට සැලකර සිටින මොවුන්ගේ ඉල්ලීම් මේ තිස් පැයෙන් මෙපිට ඉශ්ට කරදී වැඩ වදාරණ සේක්වා…
එදා ඔබ වහන්සේ විනයකපා දමා මැණික්පාල බිසවුන්ගේ ලෙඩ සුව කල ආඤාවෙන් ආනුභාවෙන්..
මොවුන්ට (මොහුට ) කර ඇති වැල් පැන්නුම් ඉරිපැන්නුම් භූමිපාළු රූපකටුගැසීම්, අණවින , කොඩිවිණ , හදිහුනියම් , ඇස්වහ කටවහ හෝවා අදත් කපා එකී වින කළ ඇදුරාවෙත අපිට හරවා යැවීමටත් වින යකුන්ගෙන් පැමිනි සකලඋපද්රවයන් දුරින් දූරින්භූතකර ආරක්ෂාකර දීම ඔබ වහන්සේට භාරයි..
පස්වාන් දහසකට ආයුබෝ වේවා.!
ආයුබෝ වේවා.!! ආයුබෝ වේවා.!!!
යන්න සූනියම් දේවතාවන් වහන්සේ වෙනුවෙන් ඇති දීර්ඝ කන්නලව්වයි.
ශ්‍රී ලංකාද්වීපයේ ජනී ජනයාට දිෂ්ඨි දිවැස් හෙලා බල පවත්වන්නා වූ සිද්ධ සූනියම් දේව රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට නිබඳවම ඔබට මට සැලසේවා!
තෙරුවන් සරණයි!
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි!
✍️ උමේෂ් මේනුක
මාධ්‍ය අංශය,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.
කඩුවෙල
1 Comment
Rumeshi mayadunna
🤍🙏