Skip to content Skip to sidebar Skip to footer

පත්තිනි දේවිය

පත්තිනි දේවිය යනු ශ්‍රී ලාංකිකයන් මහත් වූ භක්තියකින් යුතුව වැදුම් පිදුම් කරන්නා වූ දේවතාවකි. පත්තිනි ඇදහිල්ල දීර්ඝ කාලයක සිට මෙරට ජනයා තුළ පැවත එන්නක් වන අතර එය මෙරට තුළ ප්‍රභල බෞද්ධ මුහුණුවරකින් ව්‍යාප්තව පවතී. මතු බුදු වන පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේ සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව පාරමිතාව පුරන්නියකි. දෙවියන් විශ්වාස කරන ඕනෑම ආගමක පුද්ගලයෙකුගේ ස්වභාවය වන්නේ දෙවියන් පූජනීයත්වයෙහිලා සැළකීමයි. ඒ අනුව “පත්තිනි” යනු හින්දු ආගමෙහි පතිව්‍රතාවට අධිපති දෙවගන වශයෙන් සැළකෙන අතර තවත් තැනක ශිව දෙවියන්ගේ භාර්‍යාව වන පාර්වතියගේ අවතාරයක් වශයෙන් ද සළකා තිබේ. පත්තිනි දෙවගන දේවත්වයට පත් වූයේ ඇය පතිව්‍රතාව හෙවත් පතිවත රැක ගැනීම හා තම ස්වාමියා කෙරෙහි වූ අධික භක්ත්‍යාදරය නිසාවෙනි. පත්තිනි දෙවගනගේ උත්පත්තිය පිළිබදව විවිධ පුරාවෘත නිර්මාණය වී තිබේ.

දමිළ සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් සේ සැළකෙන සංගම් යුගයේ දී රචනා වූ වීර කාව්‍යයක් වන සීලප්පදිකාරම් නම් කෘතියෙහි පත්තිනි දේවිය ඇදහීමට ලක්වන්නේ කෙසේදැයි කියාපාන අතර පත්තිනිය දේවත්වයට පත් වීමට පෙර ජන්මයේ කන්නගිය නමින් ඉපිද තම සැමියාට එරෙහිව ලබාදුන් සාපරාධී තීන්දුව හේතුවෙන් දිවි අහිමිව ඔහුට සිදු වූ අපරාධයට කන්නගිය පඩි රජුගෙන් පළිගැනීමේ පුවත වටා කාව්‍යය ප්‍රබන්ධ වී ඇත. ඉලංගෝ අඩිගාල් නම් කවියා විසින් රචිත සීලප්පදිකාරම් වීර කාව්‍යය පරිච්ඡේද තුනකින් හා පද්‍යය 5270 කින් සමන්විතය. 

පත්තිනිය දේවත්වයට පත්වීමට පෙර භවයේදී දකුණු ඉන්දියාවේ කාවීරපට්ටම් නම් ගමෙහි කණ්නගී නමින් උපත ලද අතර ලක්ෂ්මීයට සමාන රූ සපුවකින් හෙබි ප්‍රභාවත් තැනැත්තියක් විය. තරුණ වියට පත් ඇය කෝවලන් නම් වෙළෙඳ පුත්‍රයා හා විවාහ විය. මාධවී නම් නාට්‍යාංගනාවක් හා කෝවලන් ඇතිකරගන්නා අනියම් පෙමක් නිසා සියලු ධනය අහිමි කරගන්නා කණ්නගී හා කෝවලන් දෙපළ මධුරාපුරයට පිටත්ව යයි. එහිදී වූ මුදල් අගහිඟකම් හේතුවෙන් කණ්නගියගේ ඉල්ලීම පරිදි සළඹ විකුණන කෝවලන් පාණ්ඩ්‍ය රැජිණගේ සළඹ සොරාගත් පුද්ගලයා ලෙස වැරදි වැටහීමකින් කිසිදු විමසුමකින් තොරව කෝවලන්ගේ හිස ගසා දැමීමට පඩි රජු ක්‍රියා කරයි. පසුව ඉතා රෞද්‍ර ස්වරූපයකින් රාජ සභාවට පැමිණෙන කණ්නගිය සළඹ තමාගේ බවත් තම ස්වාමියා නිර්දෝශී බවත් සළඹ පොළොවේ ගසමින් ඔප්පුකර තම පතිව්‍රතා බල මහිමයෙන් මුලු මධුරාපුරයම ගිනිබත් කරයි.එය දැක මධුරාපුරයට අධිපති දේවතාවා කණ්නගිය “වීර පත්තිනිය” ලෙසින් ආමන්ත්‍රණය කරන්නට විය. ඉන් අනතුරුව දිව්‍ය රූපයකින් පැමිණි කෝවලන් ඇයව දිව්‍ය ලෝකයට රැගෙන ගිය බව කියැවේ. කණ්නගිය “පත්තිනි” නමින් දේවත්වයෙන් ඇදහෙන්නේ මින් අනතුරුවය. 

ශ්‍රී ලංකාද්වීපය තුළ පත්තිනි දේව වන්දනය ඇරඹෙන්නේ පළමුවන ගජබාහු රාජ සමයේදීය. ජනප්‍රවාදයේ එන පරිදි බුදු බව ප්‍රාර්ථනා කරමින් බවුන් වඩමින් අදුන්ගිර පර්වතයෙහි ගත කල පත්තිනි දේවියගේ ශීල තේජසින් ශක්‍ර දෙවියන්ගේ පඩුපුල් අස්න උණු විය. එය විමසනු වස් පතිනියගේ සිල් බලය පරීක්ෂා කිරීමෙහිලා මහලු වෙසක් ගෙන එහි පැමිණි ශක්‍රයා ” නැගණියනි, මට නොඉදුල් දානයක් දුන මැනව”යි. ඉල්ලීය. සැනෙකින් සත්‍යාක්‍රියා කළ ඇය අදුන්ගිර පයින් මැඩ ශක්‍ර භවනයට අතපොවා ගත් සුවද ඇල් වී සත් මිටක් ගෙන වපුරා ලූ සැණෙන් ගොයම කරලින් බර කරලීය. එයින් ශක්‍රයාට දන් පිළිගැන්වීය. මෙපිනෙන් පත්තිනි දේවිය මතු බුදු වෙතියි කියත්.

පිණිබිද , නයි කදුල , දෙමට මල , ඔරුව , සළුව , ගිනිදැල් මාලාව සහ අඹය මුල් කරගෙන පත්තිනි දේවියගේ අවතාර සතක් උපත ලැබූ බව ද ජනප්‍රවාදයේ එයි. පත්තිනිය සත් වාරයක් උපන් හෙයින් “සත් පත්තිනිය” යැයි ද දොළොස් වාරයක් උපන් හෙයින් “දොළොස් පත්තිනිය” යැයි ද කියති. මෙකී සම්ප්‍රදා දෙකම ප්‍රබල ලෙස බල පවත්වන බව දේව කන්නලව්වලදී පෙනේ.

පත්තිනි දේවිය පිළිබදව මෙරට සිදුකෙරෙන දේව කන්නලව්වලදී පත්තිනි උපත පිළිබදව කියවෙන්නේ මෙසේය.

තව ද සිද්ධ සිරිමාදී සත් පත්තිනි දොළහ මතු බුදුවන හාමුදුරුවෝ මෙළොව සත් වාරයක් පහළව සත් පත්තිනි යන නාමයකින් ද , දොළොස් වරක් මෙළොව පහළව දොළොස් පත්තිනි යන නාමයකින් ද ප්‍රසිද්ධව තව ද විපුල ගුණ ගණිත සකල දන මවිත කර දෙමට මලින් ගිනි කදින් නයි කදුළින් සළුපටින් දිව්‍ය ඥාන වරම් ලබා සුර ලොවින් අසුර ලොවට වරම් ගෙන අසුර ලොවින් නාග ලොව වරම් ගෙන නාග මාණික්‍යයක් දරාගෙන පුන්කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන පිහිටි හිමි දේව මාළිගාවට  පැන නැගුණා වූ සිද්ධ ශ්‍රීමා පත්තිනි දේවතාවුන් තව ද පුරාණ කලෙක ගන රජුන් මවුපිය වන්නා වූ සිද්ධ පත්තිනි මදුර මාල දිව්‍යාංගනාවුන් වහන්සේට”. ආදි වශයෙන් මෙකී කන්නලව්වල පත්තිනි උපත පිළිබදව සියවස් ගණනාවක් තිස්සේ මෙරට ව්‍යවහාරයෙහි පවතින්නේ ය.

ඔබට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!

තෙරුවන් සරණයි!!

සටහන   – උමේෂ් මේනුක

(අන්තර්ජාලය,ඓතිහාසික මූලාශ්‍ර හා ජනප්‍රවාද ඇසුරෙන්)

 

මාධ්‍ය  අංශය,

කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.

කඩුවෙල.

 

Umesh
Content Writer

Leave a comment