ලක්දිව දෙවිවරුන් අතරට වැටෙන සමන් , උපුල්වන් යන දේව ගණයා සමඟ සිටින විභීෂණ දෙවියන් මධ්‍යකාලීන ලංකාවේ විසූ සතරවරම් දෙවිවරුන්ගෙන් අයෙක් ද වෙයි. ( කිහිරැලි උපුල්වන් , සමන් (බොක්සැල් ) , විභීෂණ , ස්කන්ද කුමාර ) විභීෂණ දෙවියන්ගේ බල පරාක්‍රමය බටහිර සියනෑ කෝරලයේ කැළණි ගං මිටියාවතේ කැළණිය කේන්ද්‍ර කරගනිමින් පවතින්නකි.
තුරඟ වාහනාරූඪව සිංහාසනයට , මැණික් පුටුවට , මුතු කුඩේට , කැළණි වෙහෙර වහන්සේට , කැළණි නදියට යහතින්ම බැල්මලා දිවැස් වදාරා වැඩ සිටින බැව් සඳහන් ය. ” සිරිලක් කඩයිම් ” නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි විභීෂණ දෙවියන්ට මණිඅක්ඛිත නා රජුන් සමඟ විසි කෙලක් නාගයින් හා නාග කන්‍යාවන් ගැවසී ගත් සත් රුවන්මය නාග භවනයකින් යුත් උද්‍යාන විමානාදියෙන් දිව්‍ය පුරයක් හා සමාන වූ කැළණි විහාරය වාසභවන වී ඇත. විභීෂණ දෙවියන් පිළිබඳ විත්ති කවි පෙළකට අනුව ශ්‍රී ලංකාද්වීපය විභීෂණ හට බාර කොට ඇති බව කියවේ.
“රාවණ යුදයෙන් පරදා ජය අරගෙන රාම කුමරු
සීතා දේවිය අරගෙන සිරිලක මෙහි ඉතා සොඳුරු
විභීසණට පවරා දී රකින ලෙසට සත නිරතුරු
ආපහු දඹදිවට ගියේ මේ විලසයි රාම කුමරු “
සතුරන් විශේෂයෙන් බය ගන්වන සුළු හෙයින් විභීෂණ යැයි කියන්නා වූ මේ දෙවියන් පිළිබඳ පැරණිතම විස්තර තොරතුරු දාහත්වන සියවසට අයත් ” පාලි වුත්තමාලා සන්දේශයත් ” පහළොස්වන සියවසට අයත් ” සැලළිහිණි සංදේශයත් “
අධ්‍යනයේ දි සපයා ගත හැක. මින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සවන පැරකුම්බා රජුගේ දුවණියන් වූ ලෝකනාථාවන්ට පුත් කුමරෙකු ලබා දෙන ලෙස ඉල්ලමින් රචිත සැලළිහිණි සංදේශය තුළ විභීෂණ දෙවියන් පැදි දාහතරකින් වර්ණිතය.
විභීෂණ දෙවියන් ” පුලස්ති මහර්ෂිහුගේ වංශයට මිණි පහනක් ” වැනි යයි ද ” තුන් ලෝ තමා නතු කළ රාවණයාට සොහොයුරු වූ ” බවද ” තුන් කල් බලා රාම රජුට ඉටු මිතුරු
වූ බවද” එහි සදහන් ය. එසේම විභීෂණ දෙවියන් යක්ෂ ගෝත්‍රිකයකු බව ද තවදුරටත් සැලළිහිණි සංදේශය තුළ වර්ණිතය.
විභීෂණයන්ගේ සිරුර කළුවන් ය. ඇස් රත් පැහැය. තද රතුවන් වූ මුඛයෙහි දෙකෙළවරින් පිටතට විහිදෙන දළ දෙකක් ද වෙයි.
” සිරිසර හිඟුල්විල සේහස වැලෙවි ගන
සුරවර සලෙල රත ලවනත දළ දුලන
මනහර සඳ වලා පෙල කෙලවර පෙනෙන
පැහැසර ළසඳ යුවලක් ඇත්නම් එමෙන “
” විභීෂණ දෙවියන් ලෝ වැසියනට සිතූ පැතූ සම්පත් ලබා දෙන කල්ප වෘක්ෂය ද , සුරබිදෙන ද පරාජය කරති.” යනුවෙන් ශ්‍රී ලංකාවේ සතරවරම් දෙවිවරු ග්‍රන්ථයේ සඳහන් කර ඇති හෙයින් හා සන්දේශ කාව්‍යයෙහි මහත් භක්තියෙන් විභීෂණ දෙවියන් වර්ණනා කර ඇති හෙයින් එකල විභීෂණ දෙවියන් පිළිබඳ ජන සමාජයේ තිබූ විශ්වාසය කොතෙක් ද යන්න පිළිඹිබු කරවයි.
” සිංහල දේව පුරාණයට” අනුව දෙවියන්ට පක්ෂවත් රකුසන්ට විපක්ෂවත් කටයුතු කල හෙයින් පසුව විභීෂණ දේවත්වයට පත්ව ඇති බව පැවසේ.
” බිඳ සතුරන් ජයසිරි දී වරින් වර
ලද ගම්බිම් ගජ හය සෙනඟ පිරි වර
වැඳ විභිෂණ සුරිඳුගෙ සිරිපා තඹර
නද පියකර තෙපුලෙන් මෙලෙස සැලකර”
විභීෂණ දෙවියන් ජනතාවගේ ඇස්වහ,කටවහ දෝෂ , ග්‍රහ දෝෂ , යක්ෂ භූත ප්‍රේත පිසාචාදීන්ගෙන් සිදුවන දෝෂ දුරෙන් දුරු කර සෙත ශාන්තිය උදාකර දෙන බවට බැතිමතුන් තුළ මහත් විශ්වාසයක් පවතී.
ගම්පොළ යුගයේ වීර අලකේශ්වරයන් විසින් ඉදිකරන ලද ජයවර්ධනපුර බලකොටුවේ පවුර මුදුනෙහි ද විභීෂණ දෙවොලක් ඉදිකර ඇත. කැළණි රජමහා විහාරස්ථානයේ පිහිටා ඇති විභීෂණ දෙවොල ද වර්තමානයේ ශ්‍රී ලාංකික බැතිමතුන් අතර මහත් ප්‍රසිද්ධියට හා ගෞරව වන්දනයට පාත්‍රව ඇත.
මෙසේ ජනීජනයාගෙ පුද සත්කාර වලට නිරතුරු පාත්‍ර වන්නා වූ විභීෂණ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ඔබ සැමට නිරතුරුව පිහිටට පැමිණෙත්වා.!
සටහන – උමේෂ් මේනුක
ඔබ සැමට සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!
තෙරුවන් සරණයි!
මාධ්‍ය අංශය,
කඩුදෙවොල සිද්ධ රංකඩු පත්තිනි දේවාලය.
කඩුවෙල.