ඊශ්වර දෙවියන්ගේත් උමයංගනාවගේත් පුත්‍රයෙකු වන ගණ දෙවියන් කතරගම දෙවිඳුන්ගේ සොහොයුරා ය. හින්දු බැතිමතුන් විසින් ” අප්පනේ ගණේෂම් ” ” ඕම් ගනේෂම් ” යනුවෙන් හදුන්වනු ලබන්නේ ද ගණ දෙවියන් ය. මෙහෙසුරුගේ සේනාවේ අධිපතියා වන බැවින් ” ගණපති ” යන නම භාවිතා වන බව කියවේ. මහා ගණපති , වීර ගණපති , බාල ගණපති , සිත්ති විනායගර් , විඝ්නේෂ්වර , ඒකදන්ත , ගජනාථ , ලබ්බෝදර , ගණදීපන් , චක්‍රතුණ්ඩන්. හෙරම්බන් , විග්නරාජා , පුල්ලෙයාර් අප්පා , ආරිවුරම් සිත්තිධානා ආදි වූ නම් රාශියකින් ද ගණ දෙවිඳුන් හදුන්වනු ලබයි.
ඥාණයට අධිපති දෙවියා ලෙසත් උවඳුරු දුරු කරන දෙවියා ලෙසත් ගණ දෙවිඳුන් ප්‍රචලිතව පවතී. ඇත් හිසක් සහිතව , අත් සතරකින් හා මහා උදරයකින් හෙබි ගණ දෙවිඳුන්ගේ වාහනය මීයෙකි. එසේම ගණ දෙවියන්ට ද අවතාර 18ක් ඇති බව කියැවේ. ගණ දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ ජනප්‍රවාද පවතින අතර කතරගම දෙවියන් හා වල්ලි මාතාව අතර සිදු වූ ආදර පලහිලව්වේ දි කතරගම දෙවියන්ගේ උදව්වට වල්ලිය බිය කිරීමට සිතා ඇත් වෙසක් මවා පැමිණි ගණ දෙවියන්ගේ ඇත් වේශය ස්කන්ධ කුමරුන් ආලයෙන් උමතුව සිටි නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වූ නිසා එදා පටන් ඇත් හිසක් සහිතව කල් ගෙවීමට සිදු වූ බවත් , සෙනසුරුගේ බැල්මෙන් ගිලිහුණු හිස සොයාගැනීමය නොහැකි වූ කල විෂ්ණු දෙවියන් විසින් ගණ දෙවිඳුන්ට ඇත් හිසක් සවිකරන ලද බවත් එම ඇත් හිසෙහි තිබූ දළ දෙකෙන් එකක් මහා භාරතය ලිවීම සඳහා ” ව්‍යාස” ට දුන් බවත් අනෙක් දළ ගණ දෙවියන් විසින් ස්කන්ධ දෙවියන් සමඟ ඇතිකරගත් කලහකාරි අවස්ථාවේ දි බිදී ගිය බවත් තවත් තැනක සඳහන් ය.
උඩරට නර්ථන කලාවේ එන වන්නම් 18 අතුරින් එක් වන්නමකින් ගණ දෙවියන්ගේ රූප ස්වභාවය මෙලෙස ගෙනහැර දැක්විය හැක.
යුත් සිරින් බබළන ඇත් හිසින් සසොබන
මෙත් දළින් අඩ දැන ගනු සුදනා
රත් පියුම් වැනි මුඛ යුත් සවන් ලෙළ දෙන
නෙත් අඳුන් නිල්මිණි කුඹුර මනා
අත් උරින් පහතින මෙත් සුරන් සිරුරින
යුත් නැනින් දෙවඟන දෙදෙනකිනා
ගත් නැණින් යුතු සුරිදෙක් බැවින් ඉසි දැන
වෙත් මෙවන් ගණපති වන්නමිනා….
පෙර සඳහන් කල පරිදිම අනෙක් දෙවිවරුන් මෙන් නොව ගණ දෙවියන් හදුන්වනු ලබන පර්‍යාය නාම රාශියක් වන අතර ගණ දෙවියන් ලොව පහළවන මූර්ති රාශියකි. ඒවා මහා ගණේෂ , වල්ලභ ගණේෂ , බාල ගණේෂ , වීරගනේෂ , හේරම්භ ගණේෂ , ධරනි ගණේෂ , ශක්ති ගණේෂ , සිද්ධි ගණේෂ , බුද්ධි ගණේෂ , නෘත්‍ය ගණේෂ යනුවෙනි.
ගණ දෙවියන් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි මථුරාපුරයේ විසූ ගණ දෙවියන් බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටි කල පොළෝ තලය තුන්වරක් කම්පා වුණ මොහොතේ එසේ වූයේ මන්දැයි සොයා බැලූ ගණ දෙවියන් සම්බුද්ධ පරිනිර්වාණයට කාලය එළඹ ඇතැයි දැන මහත් වූ ශෝකයට පත්ව මල්ල රජ දරුවන්ගේ උපවර්ථන සල් උයනට ගොස් බුදුරජාණන් වහන්සේ වැද වැටුණු බවත් ඒ මොහොතේ ගණ දෙවියන්ට ශෝක නොවන ලෙස වදාළ බුදුන් වහන්සේ ලක්දිව බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන බවත් ධර්මයත් ධාර්මික ජනතාවත් සුරකින ලෙසට ගණ දෙවියන් අමතා වදාළ බව කියැවේ. එබස් ඇසූ ගණ දෙවියන් දේවතාවන් පස් දෙනෙක් සහ දෙමළ යකුන් දස දෙනෙක් පිරිවරා ගල් නැවක නැඟ ලංකාවේ යාපා පටුනට ගොඩබට බව සඳහන් ය. ලංකා රක්ෂක දෙවි කෙනෙකුන් වශයෙන් ගණ දෙවියන් වැඩ වසන බවට ලංකාතිලක ශිලා ලේඛන ද සාක්ෂි දරයි.
කව් සිළුමිණ , පරෙවි සංදේශය , තිසර සංදේශය , කොවුල් සංදේශය වැනි සංදේශ වලත් සසදාවතේත් සිවුවන බුවනෙකබා අවධියට අයත් ලංකාතිලක ශිලා ලේඛණය තුළත් ගණ දෙවි ඇඳහීම පිළිබඳව සඳහන් ය. එසේම ක්‍රිස්තු පූර්ව යුගයට අයත් යැයි සැළකෙන මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ උතුරු වාහල්කඩෙහි ඇති කැටයම් අතර එක් දළක් සහිත ඇත් හිසකින් යුත් රූපය ද ගණ දෙවියන්ගේ විය හැකි බවට විශ්වාස කෙරේ.
ගණදෙවි වන්දනය හින්දූන් තුළ මහත් සේ ප්‍රචලිත වන අතර ලාංකීය ජන සමාජය තුළ ද ගණ දෙවියන් ඇදහීම සුලබව දක්නට ලැබේ. නුවණට අධිපති වන්නා වූ ගණදෙවියන් වෙනුවෙන් ” ගණපති හෑල්ල ” නමින් දහඅටවන සියවසේ දි ලියවී ඇත්තේ දරුවන් අකුරු කියවීමේ දි ගණ දෙවියන් හට වැඳුම්
පිඳුම් කොට නුවණ ඉල්ලා කරනු ලබන ආයාචනයක් ලෙසිනි.
” ඕම් ගම් ගණපතයේ නමහඃ “
ඔබ සැමට ගණදෙවි නුවණ ලැබේවා’යි ප්‍රාර්ථනය කරමි.
තෙරුවන් සරණයි!
සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි!
ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුය.
සටහන – උමේෂ් මේනුක
( අන්තර්ජාලය , ඓතිහාසික මූලාශ්‍ර හා ජනප්‍රවාද ඇසුරෙන් )
මාධ්‍ය අංශය ,
කඩුදෙවොල රංකඩු පත්තිනි දේවාලය,
කඩුවෙල.